Tuesday, July 15, 2025

 

රජරට රැජින

කෝච්චි ගැන මේදවස්වල හැමෝම කතාවෙනව. බිමල් සහෝදරයා කෝච්චියක ගිහින් කැමරාවකුත් අරගෙන. අඩුපාඩු ගොඩක් හොයාගෙන තිබ්බා. හරි පුදුමයි. පිඩිත පන්තියේ උන්නැහේ ප්‍රවාහන ඇමති වෙනකම්ම කෝච්චියේ අඩුපාඩු දන්නේ නැතුවාවද මන්දා.
අනුරාධපුරේ අපේ මතක, අපිව අගනුවරට සම්බන්දකල නූල, රජරට රැජින කියල තමා මට හිතෙන්නේ. උදේ 5.05 අනුරාධපුරෙන් නැග්ගම 10.30ට කොටුවෙන් බහිනවා. කොළඹ රජයේ ආයතනයකින් වැඩක් කරගන්න අය ඒ වැඩ කරගෙන හෝ නොගෙන ආයේ කොචිචියට දුවගෙන එනවා හවස 3 ට.

රෑ 8ට විතර අනුරාධපුරේට මේ කෝච්චිය එනවා. සමහරු කොළඹින් වෙළදාමට බඩු ගේනවා. මේ 80 90 දශකයේ කෝච්චිය. දැන් නම් මේක වෙනස්වෙලා ඇති.
මගේ මතකය මුලින්ම එන්නේ, රජයේ සේවකයෝ වෙච්ච අපේ දෙමව්පියෝ වොරන්ට් එහෙම නැත්නම් නිදහස් ගමන් බලපත් අරගෙන ගමේ ගිය හැටි. අපේ අම්මා කෑගල්ලේ. ඒ නිසා රැජිනේ ගිහින් පොල්ගහවෙලින් බැහැල යන එක තමා මතක. අම්මා මගදී කන්න පානුයි උණු බෝතලයක තේ එකයි හදාගෙන යනවා. ඒ දවස්වල කොචිචි කෑම අපි කෑවේ නෑ . ගණන් හින්දද සෞඛ්‍ය හින්දද කියල මම දන්නේ නෑ .

පස්සේ කාලයක කොළඹ ඉස්කෝලේ යන්න නිවාඩුව ඉවරවෙන දවසකට ඉස්සර රැජිනේ කොළඹ එනවා.සාමාන්‍යයෙන් අනුරාධපුරෙන් අපිට ඉදගන යන්න පුළුවන්.කෝච්චියට නැගල ටික වෙලාවකින් පොඩි නින්දක් යනවා. මහන්සියට. ඇයි උදේ 3.30 හතරට විතර නැගිටලා අපේ ගෙදර ඉදන් පැය භාගයක විතර දුරක් තියෙන නවනගර ස්ටේෂමට එන්න එපැයි . ඔය නින්ද ඇහැරෙන්නේ ගල් ගමුව ස්ටේෂම පහුවෙලා ඉර නැගගෙන එනකොට. ජනේල අයිනේ හිටියොත්, මුණට හිනීයට වතුර බිංදු පාරකුත් වැදෙනවා. සමහරවිට ඉස්සරහ කව්ලුවෙන් කවූරුහරි අතහොදන වතුර එහෙම නැත්තම් කෙලපාරක්ද දන්නෙත් නෑ . ජනේල අයිනේ හිටපු නිසා දැනටත් මූණෙ තෙල් දුවිලි වලින් තට්ටුවක් හැදිලා තියෙන්නේ. නැගෙනහිර ආකාසේ හිමින් එලිය වෙනවා කුකුල්ලු තොරතෝංචියක් නැතුව අඩලනවා. කොචිචියේ සෙනගත් පිරිලා. හිටගෙන යන ජනතාව වැඩිවෙලා. උදේ තිබ්බ හිමිදිරි සිතල අතුරුදහන් වෙලා රස්නයත් දාඩියත් ඇග වෙලාගෙන.සමහරු වැඩට යන උදවිය. සමහරු කුරුණෑගල ඉස්පිරිතාලෙට යන ලෙඩ්ඩු .

ඔය සෙනග අස්සෙන් තෙරපි තෙරපි ඉඩ අරගෙන තමන්ගේ රාජකාරිය කරන තුන් ගොල්ලක් ඉන්නවා. කට්ටියක් කාකි ඇදුමක් ඇදගෙන ටිකට් චෙක් කරන ගාඩ් උන්නැහේලා. අපෙන් ටිකට් ඉල්ලගෙන හිල් විදලා ආපහු දෙනවා. පස්සේ කලෙක කොළඹ කෝච්චිවල මේ අයට කිව්වේ බාප්පල කියල. මොකද මන්ද .අනිත් කට්ටිය තමා වෙළෙන්දෝ නොයෙක් කෑම, වඩේ, පාන් බනිස්, පොල් මද ,කඩල එත්තෙක්කම තේ සමහරවිට සිසිල් බීම අනිත්විට තැඹිලි කුරුම්බා. සමහරවිට තඹුත්තේගම අනුර කුමාර සහෝදරයත් ඔය අස්සේ ඉන්න ඇති. මිනිස්සු, මේ ළමයා කියල අඩගහල කෑම ගන්නත් ඇති. අපි දන්නවය එතුමා ජනාධිපතිවෙයි කියල. කොචිචියේ දුරගමන් යන අය ඕව කනවා බොනවා. හැමදාම ගල්ගමුවෙන් කුරුණෑගල යන අය නුරුස්නාවෙන් හා අකමැත්තෙන් බලන් ඉන්නව. මමත් තාත්තත් කන්නේ බොන්නේ නැති ගනයට.අපි කොටුවෙන් බැහැල තමා මොනවහරි කන්නේ. සමහරවිට මම විතරයි තාත්ත කන්නේ නැ . ඒදවස්වල අහන්න බැරි උනා තාත්තේ සල්ලි තියනවද කියල.
තවත් කට්ටියක් කෝච්චියේ හිටිය. උන්නැහෙ ලා සමහරු ඇවිදිනවා සමහරු බඩ ගානව. තේකක් පාන් කැල්ලක් කිය කියා බඩගාපු මනුස්සයෙක් හිටිය. අනේ මහතුනේ ඩිංගක් වෙන්න සමා කියල කවි කියපු අයත් හිටිය.

මට වයස අවුරුදු 16 විතර පස්සේ තනියම කෝච්චියේ කොළඹ යන අවසරය හම්බුනා. මතක තියාගන්න මේ අපේ අතේ දුරකථන නොතිබුන කාලයක. බෝම්බයෙන් ප්‍රවෙසම්වෙන්න කියල ස්ටිකර් අලවලා අයිතිකරුවන් නැති ගමන්මලු ගැන දැනුම්දෙන්න කියලත් තිබ්බ කාලයක .ගෙවල්වලටත් ස්ථාවර දුරකථන තිබුනේ නැ. අයිතිකරුවන් නැති ගමන් මල්ලක් දුටුවොත් ගාඩ් මහත්තයට තමා කියන්නවෙන්නේ. ඔන්න ඔහොම අයිතිකරුවන් නැති ගමන් මලු තමා දෙහිවලදී පුපුරලා ගියේ. ඊටත් කාලෙකට ඉස්සර තමා යාල් දෙවි දුම්රිය පුපුරලා කෑලි ගියේ. එතැනින්ම උතුරු දුම්රිය නැවතුන. වව්නියාවෙන් එහාට කෝච්චි තිබුනේ නෑ . 2009 යුද්ධෙ එවරවෙලා උතුරු වසන්තය යටතේ තමා ආයෙත් යාපනේ කෝච්චි වැඩ කරේ. මුළු දුම්රිය මගම විනාසවෙලා තිබුනේ.කොටුවේ දුම්රිය පොලෙත් බෝම්බයක් පුපුරලා පාසල් ළමයිත් මැරුණා . 88 විතර මමයි තාත්තයි කොලඹ යන්න පාන්දරම ස්ටේෂන් එකට යනකොට අනුරාධපුරේ ගොවිජනසේවා පාරේ ටයර් සෑයක් අමු මිනී පුච්චනවා. අපි කතා නොකර අඩිය ඉක්මන් කරලා ගියා.ඔය හැම අතුරු ආන්තරාවකින්ම බේරිලා අපි ආරක්ෂිතයි කියලා දෙමව්පියෝ දන්නේ කොළඹ ආවට පස්සේ යවන ලියුම් කෑල්ලෙන් .ඔය හැම දේකටම බයවෙලා අපිත් ගෙදර හිටියනම් සමහර විට අනේ මන්ද. comfort zone එක බිදලා එළියට වරෙල්ලා කියලා දැන් අවවාදත් දෙනවා.

කෝච්චියේ මතකය එක්කම එන අනිත් දේ තමයි රූප ශබ්ධ ගන්ධ . රූපනම් කොටුවේ ස්ටේෂම වේදිකාවල් අටක් විතර තිබ්බ. පඩි නැගල බහින්න ඕනේ. කොච්චි ගත්තොත් බොහොම කිලිටු. දුවිලි තට්ටු . වාඩි වෙන ආසන කිසිම විදිහකට දුර ගමනකට සුව පහසු නැ .ඉදලා හිටලා වොරන්ට් එකෙන් 2 වෙනි පන්තියට යන්න පුලුවන්නම් ටිකක් ආඩම්බරෙන් තුන්වෙනි පන්තිය දිහා බලන්න පුළුවන් සුවපහසුව.
ශබ්ධ නම් එමටයි. කොටුව ස්ටේෂම ඉස්සරහ තොරතෝංචියක් නැති ලොතරැයි කුඩු ලොතරැයි විකුනනවා ස්පිකර් දාගෙන . යන එන වාහන බස් හෝන් කරන්නේ එකිනෙක පරයල යන්න. දැඩි අව්වේ කරවේවි ඉදල ස්ටේෂම ඇතුලට ආවහම කොච්චි ගැන සිංහලෙන් දෙමලෙන් කනක් ඇහෙන්නේ නැතිවෙන්න නිවේදන. ඒ අතෙරේ සමහරවිට කියනව කරුණාවෙන් සවන්දෙන්න අහවල් දුම්රිය අද දින ධාවනය නොවේ කියලා. ස්ටේෂමට ඇවිත් ටිකට් අරන් වේදිකාවට ආපු මිනිස්සු විකල්ප හිතන්න ගන්නවා.ඔන්න ඔහොම තමා අපේ තාර්කික ශක්තිය තීරණ ගැනීමේ ශක්තිය වැඩිවුණේ. මේක නැත්නම් ඒක එහෙම නැත්නම් අරක. ඕව දැන් workshop දාල soft skills විදිහට උගන්නනවා
ස්ටේෂම ඇතුලේ කොච්චි එන්ජින් සද්ද එක්කකම මුසුවෙලා ඇහිච්ච අනිත් සද්දය තමා කපුටු ශබ්දය. තැනින් තැන ආසන උඩත් එක්ක තියන කපුටු ජරාව කිව්වේ කපුටෝ තමා මේකේ අයිතිකාරයෝ කියල. කෝච්චියට නැග්ගම එන්නේ නලාවේ හඬයි රේල් පීලි මත දුවන යකඩ රෝද ඩකස් ඩුකුස් හඬයි .

ගඳ සුවඳ ගැන කිවොවොත් මුලින්ම එන්නේ එන්ජින් තෙල් තාර පිච්චුන ගඳ ඕවා නහයට පුරුදුවෙනකොට ටිකකින් වැසිකිලි ගඳ මුත්‍රා ගදත් එනවා. ඉස්සර මට තිබුන ප්‍රශ්නය තමා කෝච්චියේ වැසිකිලියේ අපද්‍රව්‍ය යන්නේ කොහෙටද කියල . ඒවා ඉතින් රේල් පාරටම තමයි. ටිකක් කාලෙකට පස්සේ මමත් මගේ නෝනත් සෞඛ්‍ය අමාත්‍යංශයට ගිහින් ආවා රැජිනේ . එතකොට උන්දැ දරු ගැබකුත් දරාගෙන උන්නේ. අපිට හම්බවුනේ වැසිකිලිය ලගම ආසනයක්. ගඳ මදිවට වතුරත් ලීක්. හාපෝයි උන්දැ මග දිගටම වමනේ කරමින් තමා ආවේ.

ඔන්න ඔයවිදිහ තමා මගේ රජරට රැජින මතකය. ආ තව එකක් ඉස්සර අපේ ගෙදරට කෝච්චිය හූ කියනවා ඇහෙනවා එතකොට අපි දල වශයෙන් වෙලාව දන්නවා. කවුරු හරි එනවනම් මග බලාහෙන ඉන්නවා. ඊට පස්සේ ඉතින් අද ටිකක් වෙලා ගියා නේද කියල කියනවා. සුනිල් එදිරිසිංහ මහත්තයත් කියන්නේ කොළඹ කෝච්චිය රජ ගමනට යනවා කියල පුතාට නැගිටින්ඩ කියල. අපේ පුතාලා ඒ කියන්නේ gen Z තාම නිදි. උන්ට කෝච්චිය තියා ගෙදර පහල තියන බස් ස්ටොප් එකේ විනාඩි 5 ඉන්න බෑ . app එකෙන් බස් එන වෙලාව චෙක් කරලා තමයි යන්නේ. Generation gap කියල හිතහදාගෙන දුකෙන් වුනත් නිහඬවම මමත් ඉන්නවා.

(Author

Posted onMay 2, 2025. මෙම ලිපිය මුලින්ම නිහඬපාල WordPress අඩවියේ පලවිය )

Monday, July 14, 2025

 

හෙන ඉල්ලන්නට පෙර කියවන්න…..!

ලංකාවේ තොරතෝංචියක් නැතුව නඩු. අල්ලස් කොමිසම CID  එක නීතිපති දෙපාර්තුමේන්තුව ඔක්කොම ගජරාමෙට වැඩ.දේශපාලකයෝ නිලධාරීන් බලධාරීන් වෛද්‍යවරු එක පොදියට රිමාන්ඩ්. මේ සුදු කරපටි අපරාධකාරයෝ. 

මේ තොරතුරුත්  එක්ක  සමාජය පොඩි ත්‍රිල් එකක ඉන්නවා.

සැමට එක නීතියක් කියන එක හැම දේශපාලන වෙදිකවකම ඇහෙනවා.අපි අප්පුඩි ගහනවා. ආණ්ඩු  මාරු වුනහම ඔන්න කෙදිරිගන්න එපා කියලා නඩු පටන්ගන්නවා. මෙලෝ දෙයක් දන්නේ නැති පාක්ෂිකයා  වහලෙක් වගේ විසිල් ගහනවා.අඩුම ගණනේ රිමාන්ඩ් කරන්නේ සැකකරුවෝ, ඔවුන් නිදහස් වෙන්න පුළුවන් කියලවත් දන්නේ නැහැ.

මම ඉතින් නිහඬ පුද්ගලයෙක් හින්දා  හැමදේම වෙනස් විදියකට දකින්න කැමතියි. ඇද පළුදු  නෙමෙයි. එත් ඉතිං වෙනස්.

මෑතකදී එක නඩුවක් නැගලා යනවා. ඇය   වෛද්‍යවරියක්. නිකම්ම නෙමෙයි ස්නායු ශල්‍ය වෛද්‍ය . ඒක  ටිකක් දුර ගිහින් දුවත් රිමාන්ඩ් කරනවා මයේ හිතේ දවසකට දෙකකට. මේ අය සමාජයේ ඉහළින් හිටිය බොහෝ ප්‍රභූන් දන්නා අඳුරන අය . මට කොයි වෙලාවකවත් ජිවිතයේ මේ වෛද්‍යවරිය හමුවෙන්න වෙලා නැහැ. නමුත් මවලා  තියන චිත්‍රය හරි නපුරුයි. ලංකාවේ ස්නායු වෛද්‍යවරු හරිම අඩුයි. කොල්වින් සමරසිංහ සුනිල් පෙරේරා තමයි බොහෝ කාලයක් කොළඹ රජවරු වගේ හිටිය අය. දැන් විශ්‍රාමිකයි. ජයවර්ධනපුර රෝහලේ හිටපු කෙනා තමයි දැන් රිමාන්ඩ්.මතක තියා ගන්න ජයවර්ධනපුර රෝහල නොමිලේ පමණක්  බෙහෙත් කරන තැනක් නෙමෙයි. ගැටළුව  ඇතිවෙලා තියෙන්නේ EVD  කියන මොළය  ආශ්‍රිත සවිකරන ශල්‍ය උපාංගයක් සම්බන්ධව. EVD  උපකරණ ගත්තොත් Basic සෙට් වල ඉඳලා ඉහලට තියනවා. ඒක  නිසා හැම EVD  උපකරණයක්ම  සමාන නැහැ , මිල අඩු ඒවගේ සහ මිල වැඩි ඒවගේ උපාංග වගේම ක්‍රියාකාරිත්වයත් වෙනස්. නඩුවේදී තාම මේ ගැන අනාවරණය වුනේ නැහැ.නමුත් වෛද්‍යවරියට සම්බන්ධ යැයි  සැක  කරන සමාගමක් හරහා රෝගීන්ට මෙම උපකරණ මිලදී ගැනීමට බල කරන වග තමයි වාර්තා කරල තියෙන්නේ.

මේ අල්ලස් නඩු වගේම වෙනත් නඩු පොඩ්ඩන්ටත් වැටෙනවා. ඒව එච්චරම ත්‍රිල් නැහැ. අවුරුද්දකට දෙකකට ඉස්සර හොරෙන් පොල් හරි කොස් ගෙඩි හරි ගත්ත අම්මාකෙනෙක් අනුරාධපුරයේ අත්අඩංගුවට පත්වුණා.  හරිම දාර්ශනික කොමෙන්ට් වැහිවහලා. කියන්නේ තෝරු මෝරු බේරිලා හාල් මැස්සා අහුවුණා  කියලයි.

අර වෛද්‍යවරිය තවම වැරිදි කාරියක් කරලත් නැතුව හෙන ඉල්ලනවා. ඒ අස්සේ ඇහෙනවා අපේ බදු මුදලින් ඉගනගත්ත වගේ කතාවලුත්. ( ඔය වෛද්‍යවරිය ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය ලබපු කෙනෙකුත් නෙමෙයි). සමහර You Tube කාරයෝ Facebook කාරයෝ බ්ලොග් ලියන්නෝ කවි කතන්දරත් ලියනවා.

එතකොට පැහැදිලියි සමාජය ඉල්ලන දෙයක් තියනවා. මෙන්න  මෙතන තමයි සාධාරණත්වයේ විරුද්ධාභාෂය එන්නේ. (Paradox)

ධනවත් බලවත් අයට නීතිය තදිනුත්(උපරිමයටත්  එහා). දුප්පත් නිර්ධන පංතියට නීතිය  ලිහිල්වත් ක්‍රියාත්මක වියයුතුද?

එහෙම හිතන සමාජයක් බිහිවුනහම සමාජයේ මානසිකත්වය හැඩ  ගැහෙන්නේ මෙහෙමයි.

ධනවතුන් ඔවුන්ගේ සමාජ තත්වය උපයෝගීකරගෙන සිද්ධිය යට ගහන්න බලනවා. එහෙම නැතිවුනත් ඔවුන්ට නීතියේ සහය උපරිමව ලැබෙනවා. දැන් මේ වෛද්‍යවරියට පෙනී සිටින්නේ ඉහළම  නීතිවේදීන් පිරිසක්. නිර්ධන පන්තියේ වැරිදි කරුවෙකුට මෙහෙම් නීති සහයක් ගැන හිතන්නවත් බැහැ .  දඩයක් වගේ ගෙවන්න ගත්තහම නිර්ධන පංතියේ  අයට  බරක් වුනාට ධනවත් බලවත් කෙනෙකුට සුළු දෙයක්.

දුප්පත් කෙනෙක් වරදක් කරහම එකේ කොනක් සමාජයටත් බාර කරනවා. දුප්පතුන් දුප්පත්වුනේ ඔවුන්ගේ වරදින් නොවයි සමාජයේ වරදක් නිසා කියලා තමයි සම්මත වෙන්නේ. කොහොමටත් system  එකේ වරප්‍රසාද ඔවුන්ට ලැබෙනවා අඩුයි. ඔවුන් වෙනුවෙන් තනිතනිව හඬක් නැගෙන්නේ නැහැ.

ඔන්න ඔහොම සමාජයක ධනවත් කෙනෙකුට දෙන දඩුවම සමස්ථ  සමාජයටම පාඩමක් හැටියට උත්කෘෂ්ටයට නංවනවා . (Symbolic Justice)

මේක එතනිනුත් එහාට යන්නේ මාධ්‍ය මගින්. ඔවුන් ධනවත් පුද්ගලයා කෙරෙහි වෛරයක් ඇතිවෙන විදිහට රුපයක් මවනවා . සමාජය ධනවතා දිහා බලන්නෙම සාමාන්‍ය ජනතාව සූරා  කන මිනී  කාක්කෙක් ලෙසයි. වෛද්‍යවරිය මලමිනියකටත් ශල්‍යකර්ම  කරා කියලා කියන්නේ ඒකයි.

මෙහෙම  සිතුවිලි  ඇත්තටම සාධාරණද?

මේකට විරුද්ධ තර්කය තමයි  නීතිය  සැමට සමාන විය යුතුයි කියන එක. පුද්ගලානුභද්ධ  දඩුවම් වෙනුවට වරදට  සාපේක්ෂව දඬුවමක් ලැබිය යුතුයි කියන එක.

දුප්පතා system  එකේ අවම වරප්‍රසාද ලැබීමත්; ධනවතා symbolic  punishment  ලැබීමත්,  දෙකම අන්ත දෙකක්.

අපි සමාජය මේ අන්ත දෙකෙන් මද තැනකට ගෙන ඒම  තමයි සිදු කලයුත්තේ. සිංගප්පුරුව වගේ රටක් මේක සැහෙන දුරකට සාර්ථකව කරනවා.

ලංකාවේ ආණ්ඩුව මේ ආන්තික ස්වභාවය වර්ධනය කරන බව  තමයි කණගාටුවෙන් වුණත්  කියන්න තියෙන්නේ. මේකට සෑහෙන  බලපාන්නේ ඔවුන්ගේ සාමුහික සිතුවිලි වල ගැඹුරින් එලලතියන මාක්ස්වාදය වෙන්න පුළුවන්.

නීතියේ සමනත්වතාවය හිමිවෙන්නේ පන්ති පරතරය නැති කාලයකට කියලා තමයි මාක්ස්වාදියෝ  විශ්වාස කරන්නේ. නිර්ධන පංතියත්  ධනපති පංතියත්  ඉන්නකන්   නීතියේ තරාදිය ධනපතියන් පැත්තට නැමිලා තියනවා කියන අදහසින් තමයි වර්තමාන ආණ්ඩුවේ කටයුතු වෙන්නේ. එතකොට සමාජයත් මේ වෛරී ප්‍රකාශනයකට තල්ලුවෙනවා.

කලයුතුවෙන්නේ දුප්පතාටත් නීතියේ සහය ගන්න පුළුවන් අවස්ථාවක් උදාකරන එක.නීතියේ අකාර්යක්ෂමතාවය අඩු කරන එක. දැනට නඩුවක් ගොනුකරන්න  කොච්චර කාලයක් යනවද. එහෙම ගොනුකරත්  නඩුවලත් කොච්චර technical  errors  තියනවද?  අවුරුදු ගණන් සැකකරුවෝ  රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනවා සාක්ෂි සොයන්න. අනතුරුව ගොනුකරන නඩුව අව්රුදු  ගණන් ඇදෙනවා. මේකෙන් අපරාධකරයාටත් වින්දිතයටත් කිසිම සෙතක් නැහැ.

වර්තමානයේ අපිට පෙනෙන්න තියෙන්නේ නිතිය ක්‍රියාත්මක කරන ආයතන ශක්තිමත් කාර්යක්ෂම  කරනවා වෙනුවට දෙපාර්තුමෙන්තුවල කොමිෂන් වල නිලධාරීන් අඩි  හප්පන සංදර්ශනයක්. එවායින්  දිගු කාලීන  සෙතක් නැහැ. වහල් සමාජයකට අප්පුඩි ගහන සෙල්ලමක් විතරයි.

වෛද්‍යවරිය සම්බන්ධව නඩුවෙන් ඉදිරියට සමාජ කතිකාවතක් ගොඩනගන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. නමුත් නීති හෝ වෛද්‍ය ක්ෂේත්‍රයේ මෙහෙම කතිකාවක් දැක්කේ නැහැ.

1. වෛද්‍ය ආචාර ධර්ම (Medical Ethics )

2  Informed Consent

3. Conflict  of  Interest

4. Hospital Policy 

5. Shared decision-making

6. Transparency

7. Big Pharma and conflicts.

මෙම කරුණු ගැන කතිකාවක් ඇති උනානම් එයින් කොපමණ තරුණ වෛද්‍යවරු නීතිවේදීන් සමාජ ක්‍රියාකාරිකයින් පිරිසක්  දැනුවත් වෙයිද?

දැනට ලංකාවේ දැඩි ප්‍රශ්නයක් වෙලා තියන ඖෂධ සමාගම්වල නියෝජිතයන් දෙන අල්ලස් (බොහෝවිට තායිලන්තය සිංගප්පුරුව වගේ රටවලට පොඩි සවාරියක්.) ගැන කථාවක්  නැහැ.  දියුනු රටවල ඖෂධ නියෝජිතයන්ට වෛද්‍යවරු හමුවීමට බාධාවක් වශයෙන් විවිධ නීති ක්‍රියාත්මකවෙනවා.

ඒවුනත් ශල්‍ය උපකරණ සම්බන්ධයෙන් නම් දියුණු රටවලත් ඖෂධ නියෝජිතයන් ශල්‍යාගාරය ඇතුලටම එනවා. මේක විකලාංග ස්නායු ශල්‍ය වෛද්‍ය වගේ අංශවල ඉතා  වැඩියි . ඔවුන්  උපකරණ  අලෙවිකරණය නෙමෙයි තමන්ගේ සමාගමේ උපකරණය හරි ආකාරව සවිකරන්න කියලා දෙන තාක්ෂණික උපදෙස් දෙන සමාගම් නියෝජිතයන් . මෙවැනි උපකරණ කෙලින්ම ශල්‍යාගාරයට තමයි ලැබෙන්නේ.

මේ ඔක්කොමත් එක්ක මට හිතෙන්නේ වෛද්‍ය හා නීති ක්ෂේත්‍ර දෙකම තියෙන්නේ ගව්  ගණනක් පසුපසින් කියලයි. සද්භාවයක් සහිත නම් සෞඛ්‍ය ඇමතිට තියනවා කරන්න වැඩ ගොඩක්.

ඒ මොනවා වුණත්,  ඔබ මොන පක්ෂයකට කඩේ ගියත් හෙන ඉල්ලලා පොස්ට් දාන එක හරි comment  කරන එක හරි ලොකුදෙයක් කියලා හිතන්න එපා. මේ වෛරී රැල්ලෙන් මිදෙන්න උත්සහ කරන්න. ඔබ කැමතිම දේශපාලන නායකයා කට උල් කරලා අත  අඹරලා කියන හැම බොරුවක්ම විශ්වාස කරන්න එපා.හැමදේම විචක්ෂණශිලිව බලන්ඩ . ඔන්න ඔහොම තමයි ආකල්ප වෙනස් වෙන්නේ. එතකොට අර නීතියේ දෙවඟන උනත්  තරාදිය බැලන්ස් කරලා තීන්දුවක් දෙනවා. ඔය වගේ ලස්සන දවසක් එනකන් තමයි මමත් නිහඩවම බලාගෙන ඉන්නේ.

 

අනාගත ලෝකය ආක්‍රමණය කරන බීටාවන්ගේ ආගමනය.

 

බීටාවෝ ඇවිල්ලා. අනාගත ලෝකය අයිතිය ලියාගන්න. 2025 දී තමයි පළමු බීටාවා පෘථිවියට සම්ප්‍රාර්ථ වුනේ. බිටාවෝ යටතේ මට ජීවත්වෙන්න වෙයිද කියන එක සැකයි.

2025 ඉදලා 2039 වෙනකන් උපදින අය  Generation  beta  ලෙස තමයි හදුන්වන්නේ.පරම්පරා කීපයක්ම එක්ක කටයුතුකරපු මම සමහරවිට මේ දකින අන්තිම පරම්පරාව වෙන්නත් පුළුවන්. වැඩිම වුනොත් තව එකක ආරම්භය විතරක් දකින්න පුළුවන් වෙයි.මේ පරම්පරාවේ විශේෂත්වය තමයි මේ අය  AI  එක්ක පුර්ණ වශයෙන් බද්ධ වෙලා ජිවත් වෙන පළමු පරම්පරාව.

දැනට අපි අතර ජනප්‍රිය Gen  Z අය. මමත් තරුණවිය එළිපත්තේ ඉන්න Gen  Z  Teens  ලා  දෙදෙනෙක් ගේ පියෙක්. ඔවුනුත්  අපිත්  අතර ඇති පරතරය සිතුවිළි  වල වෙනස්කම තදටම මට දැනෙනවා.

ඒ කොහොම වුනත් Gen  Z ලගේ තියන කලබලකාරී අඩු අවධානය (Low  attention  span ) Generation beta  අයට  උරුමවෙන්නේ නැතිවෙයි.

ඔවුන් වඩා සුභ දායක ලෝකයකට පිවිසෙයි කියලයි මට හිතෙන්නේ.

ජීවයේ සම්භවය කොහොම කොතනකින් වුනත් මිනිසා සහ සියළු ජීවින් පරිණාමයකට ලක්වුණා ලක්වෙනවා.Darwin  මේකට ප්‍රවාදයක් හැදුවා.  එයින් සියල්ල විස්තර වෙන්නේ නැහැ නමුත් අඩුමතරමේ ජීව විද්‍යාත්මක පැහැදිලිකිරීමක් දෙනවා.ඇයි  මින්සුන්ට විතරක් අසාමාන්‍ය බුද්ධියක් දීලා අනිත් අයට  අඩුම වශයෙන් කථන  හැකියාවවත් නැත්තේ කියලා ඇහුවොත් ටිකක් අමරුවෙනවා.

මෙතැනදී මනසත්  පරිණාමයකට ලක්වෙනවා කාලයත් එක්ක. මනස ළගින්ම  ඇසුරු කරන ජීවවිද්‍යාත්මක අවයවය මොළය .මොළය  එක්තරා ආකාරයකට පරිණාමයකට ලක්වුන්යින් පස්සේ මනස ලොක්කා වෙනවා. එතනින් එහාට ජීවවිද්‍යාත්මක , සමාජීය ,සහ ආත්මීය (spiritual ) පරිණාමය මනසේ බලපෑමකින් යුතුව තමයි වෙන්නේ. ජීව විද්‍යාත්මක පරිණාමය අවුරුදු දහස් ගණනක ක්‍රියාවලියක් වුණත්  මනස වෙනස් වෙන ආකාරය පරම්පරාවකින් දෙකකින් විද්‍යාමාන වෙනවා. මේ හැකියාවන් මිනිසා හැරුනුකොට සත්තු සහ ගස්වැල් වල දකින්න බැහැ .පරිසරය කියන එක ස්වභාවික තත්වයේ ඉඳලා මිනිසා විසින් නිර්මාණය කරගත් සහ වෙනස් කරගත් දෙයක් බවට පත්වෙන නිසා පරිණාමය තවදුරටත් ස්වාභාවික ක්‍රියාවලියක්මද  කියන ගැටලුවත් එනවා.මිනිසා විසින් අනිත් සත්වයන්ගේ පරිණාමයට සැලකියයුතු බලපෑමක්කරන බව දැන් සහතිකයි.එහෙමනම් මිනිසාගේ පරිණාමයට තවත් දියුණු ජීවින් බලපෑමක් කරා වෙන්න බැරිද?

EpochTime FrameMajor Milestone
Miocene23–5.3 million yrs agoApe diversification, common ancestor
Pliocene5.3–2.6 million yrs agoEarly bipedal hominins
Pleistocene2.6m–11.7k yrs agoTool use, brain growth, Homo species
Holocene11.7k yrs ago–nowAgriculture, cities, modern civilization

Gen  Beta  වල මානසික පරිණාමය හරිම අපුරු එකක් වෙයි. අපේ මොලයෙන් අපි සැලකියයුතු ප්‍රමාණයක් මතකය ගබඩාවට පාවිච්චිකරනවා. මේ දත්ත නැවත ලබාගෙන යම් තීන්දු තීරණ ගන්නවා.කරුණු ඉගෙනගන්නවා භාෂාවල් ඉගෙනගන්නවා.

අපි විශ්ව විද්‍යාලයට පිවිසෙන්නේ 90 දශකයේ මැද . IT  පැත්ත ප්‍රාථමික මට්ටම. විශ්ව විද්‍යාලය තුළ මට තිබුණ ප්‍රධාන අභියෝග දෙකක් තමයි මව් භාෂාව නොවන වෙන භාෂාවකින් ඉගෙනගෙන විභාගයකට පෙනී සිටිනෙක සහ අතිවිශාල දැනුමක් මතක තබාගැනීම. Gen  beta  උපදින්නේම AI තාක්ෂණයත් එක්ක ඔවුන්ගේ මේ මානසික ක්‍රියා දැන් ඔවුන්ගේ සහායක  AI ලවා කරවන්න පුළුවන්.ගණිතය,  දත්ත,  දැනුම මතකයේ රඳවා ගැනීම,  භාෂාව ඉගෙනගැනීම , AI සහයකයා (Personal Assistant) හොඳටම කරයි.

තීරණ ගැනීමේ ආතතිය

අධි පරිභෝජන වාදී සමජයක අපිට තෝරාගැනීමක් කරන්න හරි අමාරුයි. දුරකතනයක් කියලා හිතන්න. 80 දශකයේ අපේ දෙමව්පියන්ට මේ ආතතිය තිබ්බේ නැහැ. ඔවුන්ට තෝරාගැනීම් විකල්ප පොඩ්ඩයි. අපි? හිතාගන්න බැරුව ලතවෙනවා. (“paradox of choice” or “choice overload”)

AI  සහයකයා දීර්ග කාලයක් ඔබත් එක්ක ඉන්න නිසා ඔබේ ජිවිතයේ බොහෝ වැදගත් තීන්දු වලට ඔබට උදව් කරයි.විවාහය ඇදුමක් තෝරාගැනීම වාහනයක් දුරකතනයක් නිවසක් අනාගත රැකියාව ආදී බොහෝ දේ ඔබට තෝරාදෙන සහකරු AI .

මේ දේවල්  ඔවුන්ගේ AI සහකරු හොයල දෙන්න පටන්ගත්තාම විශාල මානසික සහනයක් එනවා.ඉතින් Gen  beta  වෙනස් විදිහකට හිතයි. ඔවුන්ට ස්වාභයෙන්ම හිමිවන AI  සහකරු සමග පොඩි ඉරිසියාවකුත් ඇතිවෙයි.මේ AI වලට වඩා දක්ෂවෙන්න නම් Gen  beta  මනස දියුණුවකට යන්න වෙනවා.දත්ත පරිශීලනය නෙමෙයි analytic power,  concentration,  spiritual  tranquility  වගේ දේවල්.ඔවුන් භාවනාවට යොමු වෙයිද දන්නේ නැහැ.

Virtual ID

Gen beta පැහැදිළිවම යථාර්ථයේ වගේම virtual  reality එකකත් ජීවත්වෙනවා. ඔවුන්ට යථාර්තය තේරුම් ගැනීමට තියන සංවේදී අවයව තවදුරටත් විශ්වාස කල නොහැකි ඒවා බවට පත්වෙනවා. ඇහැ  කණ නාසය ඔක්කොම රැවටීමක්. information ,misinformation, disinformation  කොහොම තේරුම් ගනීද කියලා හිතාගන්න අමාරුයි.

පරිසරය සහ බලශක්තිය

දැනට මිනිස්සු හිතන විදිහට Global warming වගේ ගැටළුවලට මුහුණදෙන්නේ Gen  beta . ඔවුන්ගේ ඩිජිටල් අවකාශයට විශාල බලශක්තියක් අවශ්‍යවෙනවා. ඒ බලශක්තිය clean වෙන්නත් ඕනේ. කාබන් emission  zero කරගෙන ලොකු බලශක්තිය ප්‍රභවයක් සොයා ගැනීම අභියෝගයක්.

Gen  Beta  නිරාගමික  වෙයිද?

එකනම් සැකයි.2050 වෙනකොට, එකියන්නේ Gen beta  දැනුම් තේරුම් ඇතිවෙනකොට ලෝකයේ වැඩිපුරම වර්ධනය වෙන්නේ  ඉස්ලාම් ධර්මය. එතකොට gen  beta  සැලකියයුතු කොටසක් ඉස්ලාම් භක්තිකයෝ.ඉස්ලාම් කියන්නේ ආගමකට එහාගිය ජිවනක්‍රමයක් . ඉතින් ඔවුන් ඔවුන්ගේ අදහස් බෙදා හදා ගැනීමට AI  යොදා ගනියි නේද? හලාල් කරණය කෑම  බීම  වලට යොදාගන්නා  ආකාරයකට AI  පවා යොදාගත්තොත් මොකක්වෙයිද ? බහුතරයක් ඉස්ලාම් ආගමිකයින් ඔවුන්ගේ ආගමට අනුකූලව  ජීවත්වෙන්න වැඩි ඉඩක් තියනවා.

Gen  Beta නිදහස් චින්තකයෝද?

 මේ AI  අයිති කාටද? ඔවුන් සම්පුර්ණ වශයෙන් මානව පාලනයෙන් මිදිලද ?. ඉතා සියුම් ලෙස beta හසුරවන්නට ඔවුන් සමත් වෙයි. මතුපිටින් Free will එකක් පෙනුනට සියුම්ව ඔවුන්ටත් නොදැනීම ඔවුන්ගේ හැගීම් දැනීම් යම් නතුකිරීමකට AI  company වලට පුළුවන්.

AGI  ආගමනය (Artificial General Intelligence)

AGI   කියන්නේ chat Bot, Image  generator  වගේ සංකල්ප වලින් එහා ගියපු කෘතීම බුද්ධියක්. Gen  Beta  මේක අනිවාර්යයෙන්ම දකිනවා. මේකට autonomous තත්වයක් තියනවා. එහෙම උනොත් ආගම නිදහස් චින්තනය වගේ දේවල් වලට මොනවා වෙයිද? Simulated  Consciousness, situational awareness  වගේ දේවල් AGI  වලට ලබාගන්න පුළුවන් වෙයි.

AGI: It is a tool, not an all-knowing oracle.

AGI  සියල්ලදත්  නෙමෙයි ඔව්නුත් වැරදි තොරතුරු දෙනවා. වැරදි පිළිතුරු දෙනවා. ඒක  නිසා AGI  දෙවියෙක් වගේ අදහන්න හිතන් ඉන්නවනම් බිටාවන්ට වරදින්න පුළුවන්.

මේ ඔක්කොමත් එක්ක බීටාවුන් ලෝකය කොයි පැත්තකට ගෙනයයි ද?  ලෝකයේ පැවැත්ම රදා පවතින්නේ බිටාවන් ගන්න තීන්දු තීරණ අනුව. මම ඉතින් සුභවාදිව තමයි ලෝකය දකින්නේ. මේවා ඉතින් පුරෝකථන සහ අපේ මනසේ හිතළු. ඕවා වෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. කොහොමටත් ඒවෙනකොට වයසට ගිහින් ඉන්න මට වෙන්නේ නිහඩවම බලාගෙන ඉන්න.

(Images : AI සහ අන්තර්ජාලයෙන්.)

 

ප්‍රොතෙස්තන්ත බුද්ධාගම

“මාලිනි ෆොන්සේකා සිනමාවට ප්‍රවේශ වන්නේ ලාංකේය පශ්චාත් යටත් විජිත සමාජය ප්‍රොතෙස්තන්ත බුද්ධාගමත්, වික්ටෝරියානු ආචාර්යධාර්මිකත්වයත්, සමාජ සංස්ථිතියේ අඩි තාලම ලෙස පැවැති මොහොතකය. මෙවන් මොහොතක සිනමාව අර්ථ ගන්වා ගනු ලැබුවේ කලාත්මක ප්‍රකාශනයක් ලෙස නොව, පවතින ආචාරධර්මවලට ප්‍රතිපක්ෂ, සමාජ වටිනාකම් සෝදාපාලුවට ලක් කරන අවර ගනයේ භාවිතයක් ලෙසයි.”

ඔන්න ඔහොම තමයි මහාචාර්ය සෞම්‍ය ලියනගේ කථාව  පටන් ගත්තේ. මාලනී ෆොන්සේකාගේ අවමංගල්‍ය උළෙලේ. ඒක  ගැන දැන් නොයෙකුත් වාද විවාද යනවා.එත් මේ ලියමන එතුමා ගැනවත් කතාව ගැනවත් නෙමෙයි. අපි හොයල බලමු මොකද්ද මේ ප්‍රොතෙස්තන්ත බුද්ධාගම කියන්නේ කියලා.

අපි ප්‍රොතෙස්තන්ත ආගම කියලා කියන්නේ ක්‍රිස්තියානි ආගමේ කොටසකට ඒ වුණාට එහෙම බුද්ධාගමකුත් තියනවලු.ඒක  සමාජයේ අඩිතාලම වෙලත් තිබුනාලු. ඒක  හින්දම සිංහල සිනමාවට කුඩම්මාගේ සැළකිල්ල ලැබුනා වගේ එකක් කියවුනාද මන්දා . කොහොමටත් මහාචාර්යතුමාගේ කථාව  තේරුම් ගන්න නම් ටිකක් අමාරුයි.

මේ ප්‍රොතෙස්තන්ත කියන වචනය බුද්ධාගමට පුට්ටු කරන්නේ බටහිර උගතෙක් වුනු මහාචාර්ය ගණනාත් ඔබේසේකර. එතුමාගේ දෘෂ්ටිවාදයට අනුව පශ්චාත් යටත් විජිත සමයේ බුද්ධාගමට එකතුවුණු ලක්ෂණ වලට තමයි මේ නම දුන්නේ.

 Protestantism එන්නේ protest  කියන වචනයෙන්. 1517 මාර්ටින් ලුතර් වර්තමානයේ ජර්මනිය නමින් හදුන්වන කලාපයේදී 95 Theses  කියලා ලියවිල්ලක් කතෝලික පල්ලියේ දොරේ ඇණයකින් සවිකරනවා . මේ ලියවිල්ල වාද විවාද වලට මුහුණ දීලා කතෝලික පල්ලියටත් පාප් වහන්සේටත් විරුද්ධ මතවාදී කණ්ඩායමක් නිර්මාණය වෙනවා.

 දක්ෂ ප්‍රතිසංස්කරණ වාදියෙක් වන මේ මාර්ටින් ලුතර් දැඩි යුදෙව් විරෝදියෙක් අන් මත නොඉවසන පුද්ගලයෙක් බවට පත්වෙනවා.

කොහොම හරි මේ මතවාද පැතිරිලා මාර්ටින් ලුතර් රෝමානු කතෝලික පල්ලියෙන් දොට්ට දානවා. ලුතර් වෙනම නිකායක් බිහිකරනවා. එහි පාප් වහන්සේ පිළිගන්නේ නෑ . බයිබලය තමයි උත්තම. අවශ්‍ය වන්නේ භක්තියෙන් හා විශ්වාසයෙන් දෙවියන් ඇදහිම. ගැලවුම් සඳහා සම්ප්‍රදායක පල්ලියේ පව් සමාකිරීමක් අවශ්‍ය නැහැ.පස්සේ පුජකයන්ට විවාහවිමටත් අවසර ලැබුනා. මාර්ටින් ලුතර් විවාහ වෙනවා.

මේ ප්‍රතිසංස්කරණය පුර්වාදර්ශයට ගෙන තමයි අනිකුත් නිකායන් කැඩෙන්නේ . ඇන්ග්ලිකන් පල්ලි ඇතුළු විවිධ අතුඉති විහිදී යනවා රෝමානු කතෝලික පල්ලියට විරුද්ධව. ඔය සියල්ලටම යොදන පදය තමා Protestant කියන්නේ.

මහාචාර්ය ගණනාත්  ඔබේසේකර (Gananath Obeyesekere 2 February 1930 – 25 March 2025) කියන්නේ ලාංකික උගතෙක්.ඇමෙරිකානු Princeton  සරසවියේ මානව විද්‍යා මහාචාර්යවරයා. ඔහු ඇතැම් බටහිර මතවාද  අභියෝගයකට ලක් කරනවා. ඔහු තමයි මේ protestant කියන වචනය යොදාගෙන පශ්චාත් යටත්විජිත බෞද්ධ පුනරුදය විස්තර කරන්නේ. එහෙම නැතුව ක්‍රිස්තියානි ආගමේ වගේ වෙනම නිකායක් හැදෙන්නේ නෑ

ඔහු කියන මේ කාල වකවානුවේ ලංකාවේ පුනරුදයකට මග කියන්නේ ධර්මපාල තුමා Henry Olcott මැතිතුමා Blavatsky මැතිනිය ඇතුළු අය. 1800 -1900 කාලයේදී මිෂනාරි ආගම් ලංකාව ආක්‍රමණයක් කරනවා. මිෂනාරි ආගම් ලාංකීය බුද්ධාගම ගස් ගල් වදින ප්‍රාථමික දහමක් ලෙස පහත් කොට ප්‍රචාරයක් යවනවා. ක්‍රිස්තියානි දහමට ඇදී  එන්නන් බුද්ධිමත් ලෙසට පෙන්නන්ඩ තමයි මේ කරන්නේ.ඒක පාරා වළල්ලක් වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ . පානදුරා වාදය එහි ප්‍රථිපලයක් . මෙහි ප්‍රථිපලයක් ලෙස විවිධ අය බුද්ධාගම දර්ශනයක් ලෙස ඉස්මතුකරගන්න බැලුවා. එහි නායකත්වය ගන්නේ ඉහත කී ගිහියන්. ඔවුන් බෞද්ධ අධ්‍යාපනය වෙනස් කරනවා. ඒකට බටහිර මොඩල් එකක් ගේනවා. ක්‍රිස්තියානි ආගම ඒක  දේවවාදී සදාචාරාත්මක නීතිරීති වලින් හැදුන ආගමක්.



අනිත් පැහැදිලිම කාරණය තමා සම්ප්‍රදායක බෞද්ධ සමාජයත්  Olcott  තුමා ධර්මපාලතුමා සහ අනෙකුත් බෞද්ධ භික්ෂුන් අතර යම් මතවාදමය වෙනස්කම් තිබුණා විශේෂයෙන් පුදපුජා විදි ගැන එහෙම. නමුත් මහා වාදයක් විවාදයක් පැන  නැගුනේ නැහැ.. ඒ කියන්නේ protest එකක්  නෑ. තිබුන වාද විවාද ගැටුම් තිබුනේ ආක්‍රමණශීලි අනෙකුත් ආගම්  සමග.

ඔය ආකාරයෙන් බලපුවහම ඇත්තටම ඔය කියන කාල වකවානුවේ ඇතිවුන බෞද්ධ නැගිටීමට ප්‍රොතෙස්තන්ත කියලා කියන එකම වැරදි. බොහෝ උගතුන් මේ කාලයට ඔය නම කියනවට විරුද්ධයි. යටත්විජිතවාදී බෞද්ධ පුනරුදසමය තමයි හරිම වචනය.

ඒ වුනත් ඉතින් පශ්චාත් නුතනවාදී නිරාගමික තරුණයා මේ “ප්‍රොතෙස්තන්ත ” බුදු දහම කියල නැති දහම කට උල් කරලා කියන්න ආසයි. මාලනී ෆොන්සේකාට ඔය කියන බෞද්ධ ආගමිකයගෙන් එල්ලවෙච්ච අභියෝගය මොකද්ද කියලා හොයලා අපේ රැඩිකල්  මහාචාර්ය තුමාට තවත් ආචාර්ය  උපාධියක් කරන්න පුළුවන්. එතුමා එහෙම කරලා පොතක් ලියනකන් අපි  නිහඬවම බලාගෙන ඉමු.

 

කොළඹට කිරි අපිට කැකිරි

කාලයක් කව්රුහරි ඇහුවම ඉස්කෝලේ කැමතිම period එක කියලා අපි කිව්වේ Interval එක කියලා.හම්මෝ දැන් නම් හිතෙනවා ඉස්කෝලේ කියන්නේ දිවිය ලෝකෙද කියලා . මොකද ඔය විනාඩි පහළොවේදි කරපු වැඩ කන්දරාව. මනුස්ස ලෝකේ පැයක් වත් යනවා. කෑම කන්නොනේ වතුර බොන්නෝනේ චූ කරන්න යන්නොනේ. එතකොට සෙල්ලම් කරන්නත් ඕනේ කව්රු හරි චැලේන්ජ් කරොත් ගහගෙන ගුටි කාගෙන රණ්ඩු කරන්නෙත් ඔය වෙලාවට.හවස තියන විෂයට ගෙදර වැඩ කරගෙන ආපූ නැති උන් ගෙදර වැඩ ටික කොපි කරන්නෙත් ඔය විනාඩි ගානේ තමයි.

අනුරාධපුරේ ඉස්කෝලේ interval එකට ටික වෙලාවකට ඉස්සර ලොකු පෙට්ටිවල දාගෙන ලොකු පන්තිවල අය්යලා බිස්කට් ජාතියක් බෙදුවා. ඇදිහස කියලා තමයි ඒවාට කිව්වේ.එක්කෙනෙකුට බිස්කට් 5 යි. පස්සේ කලෙක තමයි දන්නේ මේ බිස්කට් බෙදුවේ අපේ මන්දපෝෂණය දුරලන්ඩ කියලා.

USAID කරපු හොඳ වැඩක්. පස්සෙනේ ඒගොල්ල LGBTQ +++ වගේ ලොකු ලොකු ප්‍රශ්න වලට අත දැම්මේ අපිව අමතක කරලා .

ඉතින් ඔය බිස්කට් දුන්නේ පොඩි ළමයින්ට විතරයි. සමහරවිට අය්යලා ඕවා හොරකන් කරනවා. ඒ ඉස්කෝලේ තිබ්බ බිස්කට් ගබඩාව ආරක්‍ෂිත එකක් නෙමෙයි. ඔය ගබඩා කරලා තිබ්බ ක්‍රමය හොද නැති නිසා බිස්කට් පෙගෙනව. ඔය විස්කෝතු වලට අමතරව සමහර ළමයි ගෙදරින් පාන්පෙත්තක්, බතල, කිරිබත් වගේ එව්වත් ගෙනාවා .

ලොකු අය්යලා කෑවේ කැන්ටිමෙන්. ඉස්කෝලේ කැන්ටිම තිබ්බේ ගේට්ට්ටුව ගාව. ඉතින් ඔය ගේට්ටුව ගාව තව කීපදෙනෙකුත් ඉන්නවා. ළමයින්ට යම් නිදහසක් තිබ්බා ගේට්ටුව ගාවින් කෑම ගන්න. එක්කෙනෙක් තල්පිනාටු විකුණන දෙමළ ආච්චි. ගෙදරින් ඔය තල්පිනාටු ගැන බිල්ලෝ මවලා තිබ්බේ. ඕවා හදන්නේ කකුලෙන් පාගල කියලා. මොනාවුනත් ඒවා රසයි පස්සේ කාලෙක හෙව්වත් ගන්න බැරිවුණා සමහරවිට යාපනේ තියෙයි.

මට මතක පිනාටු කියන්නේ කටේම දියවෙන තල් රස කෑමක්.

ගේට්ටුව ගාව ඉන්න අනිත් කෙනා තමයි අයිස් ක්‍රීම් වෙළෙන්දා. බයිසිකලයක පිටිපස්සේ පෙට්ටියක බැදගෙන නලාවක් ගහගහ තමයි ඉන්නේ.
මේ සිද්දිය වෙනකොට මම එකේ දෙකේ පන්තියේ විතර. දවසක් ඔන්න තාත්තගේ සාක්කුවක තිබිලා රුපියලක් වැටිලා කාමරයේ බිම. මම ඕක අරන් හිමින් තියාගත්තා. කොහෙද ඒ කාලෙත් CCTV අඩුවක් නෑ . අපේ අය්යගේ මොනිටරේට ඕක අහුවුණා .අන්තිමට නඩු අහලා කාරිය පොඩි සමාවක් එක්ක රුපියල මට ලැබුණ . මේ කියන්නේ 1980. දැන් නම් දනගාන පොඩි එකෙක්වත් රුපියලක් ගන්නේ නැහැ.මම ඔය රුපියලත් ඇරගෙන පන්තියේ මට එහා පැත්තේ හිටය එකාට කිව්වා. ඌ ඉතින් මට වඩා Forward.අපි දැන් Interval එකට අයිස් ක්‍රීම් කන්න ලෑස්තිය .Interval එකට මගේ පිටිපස්සේ අර කොල්ලයි තව යාලුවෝ කීප දෙනෙකුයි එනවා. අයිස් ක්‍රීම් වෙළෙන්දා ළගදි මගේ රුපියලෙන් අයිස් ක්‍රීම් ගත්ත. ඇරන් 1,2,3,4 කියලා බෙදලා දැම්ම. මම පස්වෙනියා. මට අයිස් ක්‍රීම් නැහැ.දැන් ඉතින් මම හූ හඬ දීලා අඬනවා . සාමාන්‍යයෙන් මම වැඩේ නාගන්නවා කියල හිතල එදා තාත්තා ඇවිත් හැංගිලා බලාගෙන හිටියා. තාත්තා ඉදිරිපත්වෙලා මට අයිස්කිරීමක් අරන් තමයි ප්‍රශ්නේ විසදුවේ. අපි කාටවත් ගණන් බැරි නිසා තමයි ඔය සත 25 Popsicle කන්න 5 දෙනෙක් ගියේ.

කොළඹ ඉස්කෝල වල interval එක වෙනස්. 88 විතර කාලයේදී අපිට කිරි පැකට් එකකුයි බනිස් ගෙඩියකුයි හම්බවුනා.ඔන්න ඕක තමයි තාප්පවල කොළඹට කිරි අපිට කැකිරි කියලා ලියවෙන්න හේතුව.දුප්පත් පෝසත් බේදයකින් තොරව දුන්නා. කිරි කල්තබා ගැනීම වගේ ප්‍රශ්නත් තිබ්බා . අපි හැමෝම කැවා . සල්ලි තියන අය මදිපාඩුවට කැන්ටිමෙන් කෑවා . අපේ මොකෝ. අධිපෝෂණය මන්දපෝෂණය වගේම නරක බව උන්දැලට දැන් තේරිලා ඇති දියවැඩියාව එහෙම හැදුනහම.

ලොකු ප්‍රේමදාස මහත්තයාගේ සංකල්පයක්. ඒ වැඩේ අවුරුදු දෙක තුනක් ගිහින් නතර වුණා . කොළඹ කියලා නෑ බඩගින්නේ මන්ද පෝෂණයේ ළමයි ඉන්නව. ඉතින් දෙනවනම් ගමට වගේම කොළඹටත් ඕනේ

ඊට පස්සෙත් විවිධ ආණ්ඩු පාසැල් වලට උදේ /දිවා ආහාර වැඩසටහන් කරා ඒ වුනත් ඒ හැමෙකක්ම අතරමග නවතිනවා. මුං ඇට කව්පි බත් ඔයවගේ ඒවත් අත්හදා බැලුවා. කරලා තිබ්බා. හැබැයි ප්‍රයෝගික නෑ . නොමිලේ අධ්‍යාපනයත් දීලා කෑමත් දෙන්න ඕනෙද කියලා සමහරවිට අහයි. අපිට බැරිද අවශ්‍ය අයට විතරක් දෙන්න කුපන් දෙන්න එහෙම කියලත් කියනවා. ඇත්තටම කුපන් ක්‍රමයක් ක්‍රියාත්මක උනා, වියළි ආහාර වලට.

මේ ගිය අවුරුද්දේ උත්සවය. මේ ආණ්ඩුවේ උත්සවය තවම දැක්කේ නෑ

https://www.newswire.lk/2024/03/25/sri-lanka-begins-free-school-meal-program-for-all-primary-students/

මෙම වසරේ පාසල් පෝෂණ වැඩසටහන මඟින් සිසුන් මිලියන 1.6 කට ප්‍රතිලාභ සැලසෙන අතර, රජයේ පාසල් 9,134 ක ප්‍රාථමික ශ්‍රේණියේ සිසුන් මෙන්ම සිසුන් 100 ට අඩු පාසල් ද ඇතුළත් වේ. රජය රුපියල් බිලියන 16.6 ක අයවැයක් වෙන් කර ඇති අතර, එය පළාත් සභා නවයට සෘජුවම වෙන් කර ඇති අතර, ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) වැනි සංවිධානවල අතිරේක අනුග්‍රහය ද ඇත.

ලංකාවේ ළමයි දැඩි ලෙස බඩගින්නේ ඉන්නවා. අපේ කාලේ වගේමයි දැනුත්. නොමිලේ අධ්‍යාපනය සහ මන්දපෝෂණය දෙකක්. පෙර පාසල් සහ ප්‍රාථමික ළමයි විතරක් නෙමෙයි ලොකු ළමයින්ට පවා මේ බඩගින්න දැනෙනවා.මේකට අනිවාර්යයෙන්ම අවශ්‍ය පිසූ ආහාරයක් . කිරි සහ බනිස් හොද තේරීමක්. ඉස්කෝලේ විවේකයට දෙන්න පුළුවන්. වෙන රටවල වගේ Lunch break දෙන්න අපේ ළමයි හවස් වෙනකන් ඉස්කෝලේ යන්නේ නැහැ. ඒ නිසා බර ආහාර කන්න වෙලාවක් නැහැ.ඒ නැතත් අත්හොදන්න. පිගන්, කෝප්ප. පන්තියේ පිළිවෙලකට කන එක. ඔය ඔක්කොම අභියෝග . ගුරුවරුන්ට විතරක් මේක භාර දෙන එක අසාධාරනයි.

88 ට වඩා දැන් රටේ යටිතල පහසුකම් වැඩියි . විදුලිය පාරවල් හොදයි. ඒ නිසා කිරි වුනත් නරක් නොවී තියාගන්න පුළුවන්. දේශීය කිරි බේකරි කර්මාන්තයටත් හොදයි.දැනට තියන සුබසාධන සේවාවත් කරගන්න බැරුව දඟලන අපි තව කොහොමද?

එකට තමයි විදේශ ආයතන එක්ක ගනුදෙනුකරන්න ඕනේ. හොඳ ව්‍යාපෘති වාර්තාවක් එක්ක ගේට්ස් පදනම, USAID, වගේ ආයතනත් එක්ක සාකච්චාවක් කරන්න. වැඩකට නැති තුට්ටු දෙකේ YOUTUBE කාරයන්ට NGO වලට සමාජයේ ආකල්ප වෙනස් කරන්න මිලියන ගණන් කරන වියදම පෝෂණය වෙනුවෙන් කරන්න පොළඹවන්න. දේශපාලන ගැති භාවයකින් තොරව කරන්නේ කොහොමද කියන එකනම් හිතාගන්න අමාරුයි.

හැබැයි ඉතිං කරන්න බැරි වැඩකුත් නෙමෙයි.

https://www.newswire.lk/2025/04/23/sri-lankas-national-school-meal-programme-gets-us-1-mn-donation/

"මෙම ත්‍යාගශීලී දායකත්වය තුළින් තෝරාගත් පාසල්වල ළමුන් 100,000 කට යකඩ සහ ෆෝලික් අම්ලයෙන් ශක්තිමත් කරන ලද සහල් ලැබේ. ඊට අමතරව, කුඩා වතු හිමියන් 2,700 කට කෘෂිකාර්මික හා කුකුළු ගොවිතැන් මෙවලම් සහ පුහුණුව ලබා දෙන අතර, එමඟින් පාසල් ආහාර සඳහා ආහාර සැපයීමට ඔවුන්ට බලය ලැබේ." 

මේ ලඟදි සමුළුවක් තිබ්බා සිංගප්පුරුවේ.Philanthropy Asia Summit 2025. මේ එකේදී උන සාකච්චාවක්. 



මම කැමතිම දේශපාලන විද්වතෙක් සිංගප්පුරුවේ ජනාධිපති තාර්මන් ෂන්මුගරත්නම්.ගේට්ස් පදනම සිංගප්පුරුවේ අලුතින් Regional Office එකකකුත් දාන්න යන්නේ. ඉක්මණින් ප්‍රථිපලයක් ලැබෙයි. උන්නැහේලා මන්දපෝෂණය දුරුලන්න ලොකු වැඩ කොටසක් කරන්න යන්නේ. බිල් ගේට්ස් ලෑස්තියි . අපි ලෑස්තිද ?

ලංකාවේ බලධාරීන් මොකද කරන්නේ කියල ටිකක් නිහඬව බලාගෙන ඉමු.