Wednesday, December 17, 2025

උපදේශකයෝ

 



ලංකාවේ ජනාධිපතිතුමාට ලෝකේ වටේම උපදේශකයෝ වැහිවැහැල. සමහරක් දැන් තරමක් හිත නොහොඳින්. මේ අය ස්වේච්චාවෙන්ම උපදෙස් දෙන අය. නිල විදිහට මම දන්නේ මහාචාර්ය ගෝමික , උන්නැහේ විද්‍යා උපදේශක. අර පොස්පේට් හදන්න උත්සහකරන්නේ. අනිත් අය බහුතරයක් ජනධිපතිතුමාට රට කරන හැටි කියලා දෙන අය. හරියට උන්දැලා ජනාධිපති පුටුවේ වාඩි වුනානම් කොරයි වගේ.මේ සමහර උපදෙස් ඇත්තටම ජනාධිපතිතුමාගේ නරකට හේතු වෙනවා කියලයි මට හිතෙන්නේ.එහෙම අය ලියනවා ජනාධිපතිතුමාට සිංගප්පූරුවේ LKY 1960 දශකයේ කරා වගේ කරන්න කියලා. පැහැදිලිවම විරුද්ධවාදීන් මර්ධනය කරලා ඔවුන්ගේ දුර්වල තැන් හොයලා හිරේ දාන්න කියලා. ඒ අතරේ තමන්ගේ පක්ෂයේ එක් කෙනෙක් දෙන්නෙක් දඬුවමට යටත් කරන්න කියලා. එතකොට නිකන් නීතිය සාධාරණ වගේ පෙනෙයි කියලා. සිංගප්පූරුව ගැන ඒගොල්ල මවන චිත්‍රයක් තිබුනනේ. ඒ ගැන මම මීට කලින් ලියලා තියනවා. හැම තිස්සෙම මේ අය  කරන්නේ තමන්ට වාසි සහගත කොටස අරගෙන අපට කියන එක. අපි ඉතිං ඔය කියන ඒවා දැන් ඒ හැටියටම පිළිගන්නේ නැහැ. අනුර කියන්නේ දේශපාලනයේ තෙම්පරාදු වෙච්ච චරිතයක්. එතුමත් ඔය කියන දේවල් දනිහෙන් උඩට ගන්නේ නැතිබව නම් විශ්වාසයි. ඒක  නිසා ඔය ගොන් උපදෙස් අපි කණ්ඩනය කරමු. මාලිමා පාක්ෂිකයන් උනත් ජනාධිපතිතුමාව උගුල් උපදෙස් වලින් ගලවා ගන්නවාට කැමති ඇති.


LKY බිහිවෙන්නේ ඕපපාතිකව නෙමෙයි. සිංගප්පූරුව මැලේසියාවෙන් ඉවත් කරනවා . 1960-70  දශකය කියන්නේ ලෝක දේශපාලනය සීතල  යුද්ධයක පැටලුන අවධියක්. බටහිර රටවල ප්‍රධාන සතුරා කොමියුනිස්ට් වාදය. පරණ සෝවියට් දේශය බලවත්. චීනය ආර්ථික අතින් දුර්වලයි. වියට්නාමය ඇමෙරිකාව සමග යුද්ධයක. ඇමෙරිකාවේ දොරකඩ කියුබාව කියලා විප්ලවීය කොමියුනිස්ට් රජයක් බිහිවෙලා. මෙහෙම වෙද්දි  සිංගප්පූරුව බිහිවෙනවා. අලුත්ම රටක්.කලින් මාළු බාන අය පැල්පත් වාඩි  අටවාගෙන ඉඳලා තියෙන්නේ. 1819 කාලයේ ඉඳලා Sir Stamford Raffles කියන සුදු ජාතිකයා වරායක් හදලා වෙළදාමට  තල්ලුවක් දුන්නා . බටහිර ජාතින් නිතර නිතර සිංගප්පූරු වරාය පාවිච්චි කරා. චීනයට වියට්නාමයට ආසන්නයි.LKY  බටහිර පිළිගන්නේ කොමියුනිස්ට් විරෝධී නායකයෙක් කියලා. ඔහු බටහිර අධ්‍යාපනය ලබපු කෙනෙක්. ඉංග්‍රීසි සහ චීන මැන්ඩරින් භාෂා හැකියාවක් ඇති අයෙක්.


LKY දේශපාලන විරුද්ධවාදීන් බහුතරයක් මර්ධනය කරේ ඔවුන් කොමියුනිස්ට්වාදයට උපකාර කරනවා කියලා. නායකයන් , වෘත්තිය සමිති සහ ශිෂ්‍යය සංගම් තමයි ඔහුගේ ඉලක්කය. නමුත් භිෂණයක් පතුරවා නොගන්න ඔහු ප්‍රවේසම්. මොකද භීෂණ උද්ගෝෂණ තුලින් ආයෝජකයන් පලායනවා. දුෂණ විරෝධී සටනේදී ඔහු තමන්ගේම සගයන්ව ඉවත් කරනවා. මේ දෙක දෙකක්. එහිදීත් ඔහු ආයෝජක විශ්වාසය දිනාගන්නවා.


කොමියුනිස්ට්වාදය සහ එහි බලපෑම් ටිකින් ටික බොඳ වෙද්දී සිංගප්පූරුව වෙනම ආකෘතියකට මාරුවෙනවා. ඒක තමා බොරු කීම තහනම් කිරීම.(ඒක එච්චරම සරල නැහැ) defamation law  යටතේ විරුද්ධ පක්ෂ බංකොලොත් කරන්න LKY ට පුළුවන් වුනා. මේ ආකෘතියත් සිංගප්පුරුවට ගැටළුවක් ඇති කරේ නැහැ. මානව හිමිකම් ආයතන සහ බටහිර රාජ්‍යන් මේ වෙනකොට LKY  සහ සිංගප්පූරුව තමන්ගේ  හිතවත් රාජ්‍යක් බවට හඳුනාගෙන අවසන්.


මේ මර්ධනය දැන් කරන්න බැහැ  . LKY  පැහැදිලිවම කියනවා සිංගප්පූරුව  කියන්නේ එකම strategy එක භාවිතා කරන රටක් නෙමයි කියලා. ඔවුන් පරිනාමය වෙනවා. විශේෂයෙන් භූ දේශපාලනය ගැන ඉවක් තියනවා. සිංගප්පූරුව  වර්තමානයේ චීනයත් එක්ක ගනුදෙනුකරන ආකාරය බැලුවහම ඒක 1960 ට වඩා අතිශයින්ම වෙනස්. සිංගප්පූරුව තුල වර්තමානයේ විපක්ෂයට යම් තැනක් තියනවා.ඔවුන් පවතින රජය විවේචනය කරනවා. එහෙම කියලා ඔවුන් හිරේ විලංගුවේ දාන්නේ නැහැ. බොරු කියන්න බැහැ. ලංකාවේ මලිමාවට බොරු කියන අයව හිරේ දාන එක සදාචාරාත්මකව ටිකක් අමාරුයි. වංචා දුෂණ වලට ඒක කරන්න පුළුවනි. 






ඉහත පෝස්ටරය මම හැදුවේ ඉතිහාසය copy paste කරලා ගන්න බැරිබව පෙන්නන්න. එහෙම උපදෙස් දෙන කව්රුහරි ඉන්නවනම් ඒක  අනුර කුමාර ජනාධිපතිවරයාට කරන අවැඩක්.

ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී මිනුම්දඬු දැන් වෙනස් . කොමියුනිස්ට් කියන එක ලෝකයේ අනිත් රටවල් ලොකුවට තර්ජනයක් ලෙස සලකන්නේ නැහැ. එහෙම වුනානම් ලංකාවේ මේ ආණ්ඩුපෙරලියට ඉඩක් නැහැ.ඒ හැමටම වැඩියෙන් මාධ්‍ය දියුණුයි. මාධ්‍ය, සමාජ මාධ්‍ය මර්ධනය කරන ආණ්ඩුවලට 1960 පැවැත්මක් තිබ්බට දැන් පැවැත්මක් නැහැ. මිනිස්සු සමාජීය වගේම පුද්ගලික නිදහසත් අගය කරනවා. ඔවුන් හිතන්නේ 1960 අපේ පැරණි අය  හිතුව විදිහට නෙමෙයි. ලෝකය විශාල වශයෙන් සම්බන්දයි. බලය ලබාගැනීම බලය පවත්වාගැනීම කියන කරනා දෙකේදීම ප්‍රවේසම් සහගත ක්‍රියා මාර්ග අනුගමනය කරන්න ඕනේ. 

LKY  සිංගප්පූරුව දියුණු කරේ හුදෙක් මර්ධනයකින් නොවෙයි. විරුධවාදීන් අල්ලලා හිරේ දැම්මහම රටක් දියුණු වෙනවනම් ඉස්සෙල්ලම දියුණුවෙන්න ඕනේ උතුරු කොරියාව. LKY  දර්ශනය (vision ) ඉතා බලවත්. ඔහුට හිටිය team එක සුපිරියි. ඔහුගේ නායක ගුණාංග විශිෂ්ටයි. ඉතින් කාට හරි අනුර මහත්තයට උපදෙස් දෙන්න ඕනේ නම් ඔය කියන ගුණාංග වර්ධනය කරගන්න කියන්න. එතුමාව බොරු වලවල් වල දන්නේ නැතුව. අපිට ඉතින් පුළුවන් නිහඬවම මේවගේ ලිපියක් ලියලා ටිකක් වෙනස් විදිහට හිතන්න පුරුදු කරන්න

Monday, December 1, 2025

ආපදාවේ පශ්චාත් කළමනාකරණය

 ට්සුනාමිය 



2004 දෙසැම්බර් 26 මමත් මගේ පෙම්වතියත් විවාහ උත්සවයට සුදානම්වෙනවා. අපිට තිබුනේ සුදුපාට ටොයෝටා dx වැගන් රථයක්. අපි ඒකෙන්  නුවර ටවුමට එනවා අවශ්‍ය කරන බඩු භාණ්ඩ හොයාගෙන. ඔන්න tv එකේ යනවා මුහුද ගොඩගලනවා කියලා. අපි මුලින් හිතුවේ වඩදිය බාදිය වගේ ඔය මොකක්හරි කියලා. ටික වෙලාවකින් තේරුණා වැඩේ බරපතල බව.

මේක කොහොමද වුනේ? මේකට කියන්නේ Tsunami.ඒක ජපන් වචනයක්.තවත්  ටික වෙලාවකින් තමයි දන්නේ "'t"' silent. අපිට internet තිබුනේ නැහැ. රුපවාහිනියෙන්ම තමා විස්තරේ දැනගත්තේ. කොටින්ම කිව්වොත් මුළු ලංකාවම එක පාරට ඉගෙනගන්නවා.

දැන් මම 2004 ලිට්මස් පරීක්ෂණයක් කරනවා . ඒකාලේ තිබුන ආණ්ඩු එකෙන් සමත්ද?. කාට හරි කියන්න පුළුවන් helping හම්බන්තොට කියලා දුෂණයක් කරා කියලා. ඔව් මේ තරම් දුෂණ තියාගෙන අකටයුතුකම් තියාගෙන ඒ ගොල්ල කරේ මොනවද. ඒකොහොමද ?  

නිවාස 100000 ආසන්න ප්‍රමාණයක් විනාශවිය 44000 පමණ අර්ධ වශයෙන් විනාශවිය. මුලින්ම තාවකාලික වාසස්ථාන වල පදින්චිකල ඔවුන්. 2008 පමනවනවිට නිවාස සාදා පදිංචිවිය.

රෝහල් 100 පමණ විනාශ විය. බහුතරයක් 2006- 2007 වනවිට සාදා නිමවිය.

මාර්ග මහාමාර්ග  කිමි 800 පමණද ප්‍රාදේශීය මාර්ග කිමි 1500 පමණද විනාශ විය. 2005 2007 වනවිට බොහොමයක් සදා නිමවිය.

දකුණු දුම්රිය මග බොහොමයක් විනාශ  වූ අතර  2005 යම්දුරකටද 2006 සම්පුර්ණයෙන්ද  සදා නිම විය.

ජලය විදුලිය මේ ආකාරයටම ඉක්මනින් යථා  තත්වයට පත්විය.

මරණ සංඛ්‍යාව  40000 පමණ විය. 

තුවාල කරුවන් 21000 පමණ විය.

අමතක කරන්න එපා උතුරේත් කරදර වුණා. ඒවටත් ආධාර ආවා . ත්‍රස්තවාදී කල්ලියක් එක්ක සහයෝගෙන් වැඩ කරලා. 2007 වෙනකොට යුදෙකුත් පටන් ගත්තා.

කලාපයේ විනාශයට සාපේක්ෂව වේගයෙන් යථා තත්වයට පත්වුන රට බවට ලංකාව කියන්න පුළුවන්.





2009



මේ වෙනකොට මම යුද්ධයෙන් තුවාල වුන අයට ප්‍රතිකාර කරනවා. 2009 සරත් ෆොන්සේකා මහත්මයා ඇතුළු රණවිරුවන් දිවිහිමියෙන් යුද්දේ ඉවරකරා. ඊට පස්සේ අපි හැමෝම නිවන් සුව ප්‍රර්ථනා කරපු නාකි මයිනා රට බාරගත්තා, අධිවේගී මාර්ග විදුලි බලාගාර නෙලුම් පොකුනු නෙලුම් කුළුණු මිනිස්සු එන්නේ නැති වරායවල් ගුවන් තොටුපොළවල් හදලා දකුණේ පිස්සු කරානේ.අපිව ණය උගුලක හිර කරානේ. ඒක අපි හැමෝම දන්නා දේ.

නමුත් පශ්චාත් ව්‍යසනයේ නියම ප්‍රතිසංස්කරන අපේ මනසේ නැහැ. මැකිලද ? එහෙම නැතිනම් කව්රුහරි delete කරාද මන්ද. IDP ඒ කියන්නේ අවතැන්වුවන් ලක්ෂ ගණනක් 2012 වෙනකොට පදිංචිකරලා. අවසන් අවතැන් කඳවුරත් වැහුව 2012. භාරවුණ ත්‍රස්තවාදී සාමාජිකයන් ළමා සොල්දාදුවන් 600 පමණ සහ වැඩිහිටියන් 11500 පමණ  පුන්රුතාපනය කරලා සමාජයට මුදාහරිනවා 2015 වෙනකොට. පාරවල් උතුරු නැගෙනහිර පමණක් කම් කි මි 2000 කට වැඩියි. සම්පුර්ණ උතුරු දුම්රිය මාර්ගය 2015 වෙනකොට හැදුවා. බිම්බෝම්බ 87% ප්‍රදේශයක් clear කරලා ඉවරයි.  උතුරු නැගෙනහිර විදුලිය සහ පානීය ජල අවශ්‍යතාවයන්  ඉටුකරා (මුළු ලංකාවම 90% විදුලි අවශ්‍යතාව සම්පුර්ණ වුනා  2015 ). රෝහල් ඉදිවුනා. එන්නත්කරණය අරම්භවුනා. මේ දේවල් වුනේ ඉන්දියානු ආධාර NGO  ආධාර කළමනාකරණය කරලා. බැසිල් 10% කොමිස් ගත්තා.

ඇයි නාකි මයිනා මේවාට credit  එක ගන්නේ නැත්තේ.? ඕවට ලකුණු දාගත්තා කියලා වැඩක් නැහැ.මයිනගේ පරම්පරාවේ ගැවිච්ච එකෙකුටවත් උතුරු නැගෙනගිර චන්ද පරම්පරගනනකට හම්බවෙන්නේ නැහැ කියලා දන්නවා. හැබැයි වැඩේ කෙරුණා.

ඔය උඩ කියපු හැමදේම වුනේ නකිමයිනාත් නුගත් දේශපාලක හැත්ත බුරුත්තකුත් විශාල හමුදාවකුත් නඩත්තු කරනගමන්. දුෂණය වංචාව ඉහලින්ම තියනකොට.



2025



ලංකාවට පහුගිය සතියේ කරදරයක් වුනා. මමත් ඉතින් හැකිපමණින් විවිධ ආධාර කරා. මේකේ මියගිය ගණන හරියටම අපි දන්නේ නැහැ. 1000කට අඩුයි. 

අපිට ඉන්නේ උගත් බුද්ධිමත් ජනාධිපතිතුමෙක් සහ ඇමති මණ්ඩලයක්. දුෂණය කොමිස් ගැහිලි නැති ආණ්ඩුවක්. ඉතින් මේ වගේ ස්වාභාවික ව්‍යසනයකින් පස්සේ රට ඉතා ඉක්මනින් යථා  තත්වයට පත්වේවි කියන බලාපොරොත්තුව අපිට තියනවා. මේකෙදි යම් නිර්ණායකයන් ටිකක් දීලා බලාගෙන ඉම්මු. අපිත් උදව් කරමු. අසාධාරණ වෙන්න එපා, කාලය දෙන්න මාස 6ක් ? අවුරුද්දක් ? ඇති නේද ? උදව් කරන්න.කුහක නොවී, කකුලෙන් අදින්නේ නැතුව. නුවරඑලිය පාර හැදෙනහැටි බලමු.  පාලම් හදන හැටි බලමු. මාවිල් ආරු බැම්ම් බදින්න උදව්වෙමු. ගෙවල් හදලා අවතැන්වුණු ටිකදෙනා පදිංචි කරමු. කලබල වෙන්න එපා.ලිට්මස් දාන්නේ ඊට පස්සේ. 


මෙහෙම ඉන්න අතරේ සමාජ මාධ්‍ය කළඹමින් පොඩි හීනියට ප්‍රචාරත් යනවා. 

1. ගංවතුරෙන් දේශපාලනය කරන්න එපා.

2. විපක්ෂ කණ්ඩායම් වාසි බලාගෙන ගං වතුරෙන් මිනිස්සු බිල්ලට දෙනවා.

3. ආණ්ඩුවට කරන චෝදනා පදනම් විරහිතයි. මේක ස්වභාවික ආපදාවක්. මේවා වලක්වගන්න කාටවත් බැහැ. ආණ්ඩුවට උදව් කරන්න.(කාලගුණ ලොක්කගේ බෙල්ල බේරුනොත් ඇති)

4. මේක මහා ව්‍යසනයක් අපි එකාවගේ නැගිටලා ගොඩ එමු. 

දැන් වෙනදා නැති මෙහෙම ප්‍රචාරයක් එකපාරටම එලියට පනින්න බැහැ. ගොඩක් අය කතාවෙලා වගේ video, face book පොස්ට් දාන්න පටන් ගත්තා. වෙනදා එන්නේ උදව් කරන උදව් ඉල්ලන පොස්ට්. මේ පාර ඒක වෙනස්. වෙනදාටත් කරදර වුනහම ආණ්ඩුවට අභියෝග කරනවා. උපදෙස් දෙනවා. වැරදි කියනවා. එහෙම නෙමෙයි මෙහෙමයි කියනවා. විද්‍යාත්මකව මේක වෙන්නේ මෙහෙමයි වගේ විග්‍රහ බොහොමයි. මෙදාපාර වෙනස්, විග්‍රහ වලට බනිනවා. 

මම නම් දැක්කේ නැහැ කව්රුත් කකුලෙන් අදිනවාවත් , සල්ලි එවන්න එපා කියනවාවත් , අනපනත් සම්මත කරගන්න එපා කියනවාවත්. හැබැයි විපක්ෂ ක්‍රියාකාරිනුත් බිමට බැහැල හරිහරියට වැඩ. කෑම උයනවා. ආධාර බෙදනවා. ඉස්සරත් එහෙම තමා. සුජීව සේනසිංහ කෙසෙල් ගෙඩියේ නම ගහලත් බෙදුවා. ඉතිං ඕකද මේ දේශපාලනය කරන්න එපා කියලා වැලපෙන්නේ. 

අනෙක් අතට මේක පොඩි දෙයක් හැටියට මුලින් බෞතිස්ම කරලා, එකපාරටම මහා ව්‍යසනයක් විදිහටත් පින්තාරු කරන්න පටන් ගත්තා. 

ව්‍යසන වල ලොකුද පොඩිද කියලා දැනෙන්නේ එළියේ ඉන්න අයට. වින්දිතයට ඒක ව්‍යසනයක්ම තමයි. සයිස් එක කියන්න බැහැ. 

මගේ තේරුමේ හැටියට මේ හැමෝවම එකම ආකාරයකට මෙහෙයවනවා. මනෝමුලික මෙහෙයුම්.ඔය කොයි මොළ හෝදන මෙහෙයුමේත් ඉත්තෙක් නොවෙන්න අපි වග බලාගන්න ඕනේ.

සාපේක්ෂව බැලුවොත් බොරු ප්‍රචාර අඩුයි. AI  edit කරපු video පවා අඩුයි.මිනිස්සු ස්වයංවාරණයක් දාගෙනද එහෙම නැතිනම් fake news බලකා ගං වතුරට අහුවෙලාද ? බොහොමයක් මිනිස්සු වගකිවයුතු මාධ්‍ය විදිහට දෙරණ වගේ නාලිකාවන් වටේ හිටියේ. පිටරටවල නම් වැඩිය ලොකු ප්‍රචාරයක් ගියේ නැහැ.ඇත්තටම ඉන්දුනීසියාව තායිලන්තය මැලේසියාව කියන රටවලත් එකවර සුලිකුනාටු බලපෑවා. ඒවායින් ලංකාව වැහිලා ගියා. ආණ්ඩුව උත්සහ කරේ නැතිනම් ලොකු ආධාරයක් එයි කියලා හිතන්න බැහැ.


අපි වෙනුවෙන් අපි කියලා හිතලා නිහඬවම වැඩ කරමු.

(පිංතුර අන්තර්ජාලයෙන් හොයාගත්තුවා)

Saturday, November 15, 2025

සත්‍ය මිත්‍යාව ජලය සහ සතුට

 


අටෝරාසියක් කරුණු  අතරින් පහුගිය සතියට මට ඕන වෙච්ච දැනුම අතරේ බෞද්ධ දර්ශනය, වෛද්‍ය විද්‍යාව, කිතුල් පැණි, SSD card එක මාරු කරන හැටි, මෝටර් රථයේ සුළු දෝෂයක් හදාගන්න හැටි තිබුණා. ඕවා ඔක්කොම මතකයේ දරාගෙන ජීවත්වෙන්න, සමහර ඒවා කටපාඩමින් දැනගැනීම වැඩක් නැහැ. පොතක් බැලුවත් ඔය ප්‍රශ්නවලට උත්තර හොයන්න පුස්තකාලයක් මදිඔයවගේ ප්‍රශ්න ගොඩක් විසඳන්න දැනුම හොයන එක දැන් සරල වැඩක්. මම AI යුගයකට කැමති දැනුම කියන සංකල්පය AI බාරදීලා විචාර බුද්ධිය මිනිහට ඉතුරුවෙයි කියලා හිතෙන හින්ද.

 මොලේ තියන දැනුම් මතක ගබඩාව දැන් එළියේ. පොතක් නම් යම් වගකීමක් තියනවා. අන්තර්ජාල ගබඩාවේ මිථ්‍යාව වපුරලා තියෙන්නේ. නීති දාලා නීති හදලා මේක නවත්තන්න පුලුවනිද කියල මම දන්නේ නැහැ. නමුත් මිනිහා විචාර බුද්ධිය ඉතුරු කරගත්තොත් මේ කියන බොරුවෙන් ගැලවෙන්න පුළුවන්. ඔය විචාර බුද්ධිය කියන දේ මම වගේ සිල්ලර මිනිහෙකුටත් වර්ධනය කරගන්න ලෙහෙසියි. හෙන සිරා සංකල්පයක් නෙමෙයි.විචාර බුද්ධිය තිබ්බටම බැහැනේ. Facts  & figures  හොයන්නත් ඕනෙනේ. ඔන්න ඔතනදි තමයි අනාගතයේ AI  උදව්වෙන්නේ. AI  කියනදේ මම විශ්වාසයට ගන්නේ නැහැ. මැදහත්ව කරුණු හොයල තීරණයක් ගන්න පුළුවනි.

 සෙනසුරාදා ඉරිදා අලස සුවයෙන් ගෙදර ඉන්නකොට මට හිතුනා  අපි අතර පැතිරිලා තියන මතවාද  එක්ක ටිකක් ගැටෙන්න. ඔය මත එක්ක ගැටුනා කියලා  මට ලැබෙන දෙයක් නම් නැහැ. අනික් අතට මම ගත්ත උදාහරණ වලින් ඒවා ගැන තිබ්බ මතය බොරුය කියලා ඔප්පු කරගන්න බැහැ  හැබැයි ජනප්‍රිය, ඔළුවලට  කාවද්දල තියන මත ගැන කුකුසක් ඇතිකරනවා. අනාගතයේ ඔහොම දෙයක් පැතිරුනොත් විසඳන්න ක්‍රමයක් සකස්වෙනවා.AI යුගයක වුනත් හංසයා දියෙන් කිරි වෙන්කරනවා වගේ කරගන්න පුළුවනි.



 ජලය

 2013 දී  ගම්පහ දිස්ත්‍රික්කයට අයත් රතුපස්වල මරණ 3 කින් කෙලවර වුන ඛේදවාචකයක් වුනා.මුලික වුනේ රතුපස්වල පිහිටලා තිබුන අත්වැසුම් හදන කම්හලකින් මුදාහරින ජලය නිසා ප්‍රදේශයේ ජල දුෂණයක් සිදුවෙනවා කියල පැතිර ගිය මතයක්. මේ මතය හරිද වැරදිද කියලා තර්කනුකුලව හොයන එක හරි ලේසියි. නමුත් සිද්ධීන් හරියටම වුනේ නැහැ. මිනිස්සු හැසිරුනේ වෙනස් විදිහකට.බලධාරීන් කඩිනමින් මේ මතය හරිද වැරදිද කියන එක බලන්න පියවර ගත්තෙත් නැහැ . ගම්මු හිටියේ කම්හල නිසාම ජලය ඇසිඩ් වුනා කියන මතයේ. බලධාරීන් (රජය කම්හල සහ නිලධාරින්) හිටියේ එහෙම නෙවෙයි වගේ මතයක . අදහස් දෙක ධ්‍රැවීය අන්ත දෙකකට ගියා. ගම්මු අතර මතයක් හැදුනා (හෝ හැදුවා) බලපුළුවන්කාර කම්හල් සහ ධනපතීන් ආණ්ඩුව නටවනවා කියල. අන්තිමට නුවර පාර අවහිරකරලා ලොකු උද්ගෝෂණයක්.කෙළවර මරණ. කම්හල ගලවලා ගියා. ගම්මු සමහරකට රස්සාව නැතිව ගියා. මරණ ටික දවසක් විකුණගෙන දේශපාලනය කරගෙන ගිය පිරිස විසිරුණා. නඩුවක් ගියා ඒකෙ තීන්දුව හොයලා බලන්න. තීන්දුව දුන්නේ 2024.

 රතුපස්වල කියන නම ඇහෙනකොටම එහි පාංශු පිළිබඳව අදහසක් අත්වෙනවා. ජල පරීක්ෂණ කරා, කම්හලෙන් ඉවතට දමන වතුරේ pH  අගය මැන්න  අවට ප්‍රදේශයේ ජල සාම්පල  pH අගය මැන්න . කම්හලට ඈතින් තියන ප්‍රදේශවලත් pH  අගය මැන්න. අවුරුදු දහයකට පස්සේ නැවත පරීක්ෂණයක් කරා. පරීක්ෂණ වාර්තා තියනවා.

 ඒවායේ කියවෙන දේ සාරාංශ ගතව මෙහෙමයි.

1.2013–2015 නිරීක්ෂණයෙන් හෙළි වූයේ අසල ඇති ප්‍රජා ළිංවල 3.6–5.9 සහ කර්මාන්තශාලා ළිං තුළ 5.2–6.8 අතර ළිංවල pH මට්ටම් ඇති බවයි (රත්නායක සහ වෙනත් අය, 2016).

2. 2018 අධ්‍යයනයකින් හෙළි වූයේ සමහර ළිං රසායනිකව ආරක්ෂිත පරාසයන් තුළ තිබියදී පවා බිය පවතින බවයි, එය මාධ්‍ය සහ සමාජ හිතළු මහජන විශ්වාසයට ඇති බලපෑම පෙන්නුම් කරනවා. (බුලත්සිංහල සහ තෝරදෙණිය, 2018).

3.2024 භූ විද්‍යාත්මක අධ්‍යයනයෙන් ඉස්මතු කළේ ස්වාභාවික භූ විද්‍යාත්මක සාධක, විශේෂයෙන් ලැටරයිට් සහ පීට් ජලධර, රතුපස්වල භූගත ජලයේ අඩු pH අගයට දැඩි ලෙස බලපාන අතර, කාර්මික අපජලය සමහර ප්‍රාදේශීය ප්‍රදේශවල දායක වී තිබිය හැකි බවයි (පතිරගේ සහ වෙනත් අය, 2024).

 

Bulathsinhala, A., & Thoradeniya, R. (2018). Post ‘Rathupaswala’ Issue: Neighbouring Community Perceptions of Groundwater. Engineer: Journal of the Institution of Engineers, Sri Lanka. PDF

 

Pathirage, I., Rajapaksha, M., Bandara, D., & Fernando, S. (2024). Geogenic Pollution of Groundwater Quality in Gampaha District: A Case Study of Groundwater Acidification from Rathupaswala. International Journal of Geosciences. PDF

 

 

සතුට

 ලෝකයේ සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්නේ පින්ලන්තයේ කියලා කියනවා. මේ වගේ news  එකක් දැකපු වෙලේ ඉඳලා ලංකාවේ මිනිස්සු හුල්ලනවා

 //අනේ  රටේ මිනිස්සු කොච්චර වාසනාවන්තද? අපේ රට කෑවේ දේශපාලුවෝ //වගේ කතා කියකියා.

වැඩිදෙනෙක් හොයන්නේ නැහැ සතුට මනින විදිහ. අදායම නම් මනින්න පුළුවන්.

 The World Happiness Report , published by the UN Sustainable Development Solutions Network.

මේකෙදි අහන ප්‍රශ්නය Cantril Ladder කියලා හඳුන්වන්නේ.

 ප්‍රශ්නය තමයි ""0 (හැකි තරම් නරක ජීවිතය) සිට 10 (හැකි තරම් හොඳ ජීවිතය) දක්වා ඉණිමඟක් (Ladder) සිතන්න. අද ඔබ පෞද්ගලිකව සිටින්නේ කුමන පියවරකද?""

(worldhappiness.report/methodology)

 සෑම රටකම අවම වශයෙන් 1000 නියැදියක් ලබාගන්නවා. ඒක අරගෙන rank  කරනවා.

 Rank  කරන්න ඍජුවම අදාළ කරගන්නේ නැතිවුනත් අතුරු ප්‍රශ්ණ ටිකකුත් අහනවා. මේ ඔක්කොම සමාජීය සෞඛ්‍ය ප්‍රශ්ණ.

 ඔය ප්‍රශ්නයට ලැබෙන උත්තරය සංස්කෘතික ලෙස වෙනස් වෙනවා. ෆින්ලන්ත වැසියෙක් I am fine / Good  day වගේ වචන නිතර කිව්වත් ලාංකිකයෝ ඔහේ ඉන්නවා / වරදක් නැහැ කියලා තමයි කොහොමද කියලා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නේ.

අනිත් ප්‍රශ්න අතර තියනවා charity සහ volunteering  ගැනත් ලංකාවේ හැමෝම දාන මාන කරනවා. පින් බලාගෙන හරි. එහෙම නැතත් දුගී මගී යාචකයින්ට දෙනවා . ඒක charity කියලා වාචිකව කියන්නේ නැහැ Volunteering  කියන එකත් එහෙමයි. සංකල්ප අපේ වෙනස්.  

බලපුවහම මේ සමීක්ෂණයෙන් පුද්ගලයෙක් කොතරම් සතුටින් ඉන්නවද කියලා හිතා ගන්න බැහැ.

පින්ලන්තය ගැන අපේ බ්ලොග් ප්‍රවීනයෙක් වෙන අජිත් ධර්මා ලිපි පෙළක් ලියනවා. සුන්දර රටක්. ටිකක් දරුණු ශීත ඍතුවක් තියෙන්නේ. දිවිනසගැනීම් අනෙකුත් යුරෝපියන්ට වඩා වැඩයි. මානසික අවපිඩනයත් ඉහළයි මත්පැනට ඇබ්බැහිවීම අතින් ලෝකයේ ඉහලින් ඉන්නේ, මේ වගේ රටක මිනිස්සු  සතුටින්?

 ඔය වගේ ප්‍රශ්න වලට ලෝකයේ අනිත් රටවල ඉන්න හිතන අය සැකයක් ඇතිකරගන්න නිසාම WHR එක ඒගොල්ලන්ගෙම පිටුවෙන් උත්තරත් දෙනවා. මටනම් හිතෙන්නෙම මේ සතුටේ දර්ශකයේ නම වෙනස් වෙන්න ඕනේ.

https://www.worldhappiness.report/faq/?utm_source

 

ඒක  නිසා මේ වගේ ප්‍රවෘත්ති වලට කලබල වෙලා තමන් ඉන්න රට ගැන අවතක්සේරුවක් ඇතිකරගන්න එපා.තමන් ගැනම අවතක්සේරුවකින් ගමනක් යන්න බැහැ. පින්ලන්තය වගේ රටක දෙවෙනි පෙළ පුරවැසියෙක් වශයෙන් ඉහළ රැකියාවක් නොකරන කෙනෙකුට සතුටක් ලැබෙන්නේ නැහැ.

 මේ වගේ තව තව මිත්‍යාවන් තියනවා ලෝක මට්ටමේ වගේම ලංකාවෙත්. සමහරවිට බොරු බව දැනගෙනම තමන්ගේ මතවාදයට බොරුව අනියමින් රුකුලක් වෙන නිසාම සද්ද නැතුව ඉන්න පුළුවන්. ශ්‍රී ලංකන්  ගුවන් සමාගම  Emirates සමාගම යටතේ ලාභයක් ලැබුවා කියන ජනප්‍රිය මතයත් ඔයවගේම එකක් වගෙයි මට හිතෙන්නේ තව කරුණු ටිකක් හොයලබලන්න ඕනේ.

 


 ලංකාවේ උගත් දේශපාලකයෝ මිත්‍යාව හා බොරුව ගැන දරන්නේ මෙහෙම අදහසක්.

 "ඇත්ත නම් පාර්ලිමේන්තුවේදී කියන්නෙ නෑ බොරු නම් පාර්ලිමේන්තුවේ කියනවා" - ජනපති අනුර

 ''ඔබට පූර්ණ අයිතිය තියෙනවා ඕනෑම ඇත්තකදි වුණත් එය බොරුවක් කියලා කියන්න. ඕනෑම බොරුවකදි වුණත් ඒක ඇත්තක් කියන්න අයිතිය ඔබට තිබෙනවා. '  පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි

 ඔය කියන අයට ඕනේ දෙයක් කියාගන්න දෙන්න, අපි නිහඬවම චින්තනය ප්‍රගුණ කරමු.

 

( මේකේ අලවලා තියන පින්තූර  දෙකම අපිව මුලා කරනවා හංසයෝ කිරි බොන්නේ නැහැ. WhatsApp සමූහ වල නිතර සංසරණය වන බුදුබන ඇත්තටම බුද්ධ වාක්‍ය කියලා කියන්න සාධකත් නැහැ.)

Thursday, October 16, 2025

ලංකාවාසීන්ගේ සිංගප්පූරු සිහිනය...

 (අවවාදයයි. සිතුවිළි ක්‍රියාකාරිකම් සහිතය. බුබුලක ජීවත්වෙන අයට වටහාගැනීමට අසීරු විය හැක) 

ලංකාව සිංගප්පුරුවක්  කිරීමේ සිහිනය ප්‍රසිද්ධ කලේ 80 දශකයේ JR  ජයවර්ධන මහතාය. ඔහු පිළිගත් ආර්ථික දර්ශනය හැදින්වුවේ විවෘත ආර්ථිකය ලෙසිනි. එදවස පටන්  ලංකාවේ විවිධ අවස්ථාවල දේශපාලකයෝ මේ සිහිනය ජනතාව වෙත මුදා හරියි. ඔවුන් එකිනෙකට නොපෑහෙන ආර්ථික මොඩලයන් සිහින ලෙසින් ලංකාවාසීන්ට පොවයි. විටෙක සිංගප්පුරු මොඩලය ගැන කියන ඔවුන් තව විටක ස්කැන්ඩිනේවියානු මොඩලය ඔසවයි. දේශපාලකයා මෙවැනි දේ කීම  ස්වාභාවික නමුදු බොරු මධ්‍යස්තවාදී මහාචාර්යවරු දෙසන ගජබින්න නිහඬපාලට සිනහ උපදවයි.

                     

      ( සිඩ්නි නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක කලාපීය රැස්වීමට සහභාගී වීමෙන් පසු සිංගප්පූරුවේ එක් දිනක් නතර වී සිටින ශ්‍රී ලංකා ජනාධිපති ජයවර්ධන මහතාට මැන්ඩරින් හෝටලයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයේදී අගමැති සහ ලී ක්වාන් යූ මහත්මිය තෑගි ප්‍රදානය කරමින්. සිංගප්පූරුවේ ජාතික ලේඛනාගාරයේ ඡයාරූපයකි.)

ලී ක්වාන් යූ 1960 දශකයේදී   "සිංගප්පූරුව කවදා හෝ ශ්‍රී ලංකාව මෙන් වනු ඇතැයි අපේක්ෂා කළේය" යන කතාව පසුකාලය දී ද්විතීයික මූලාශ්‍රයකින් (ද ඉකොනොමිස්ට් 1999) ආරම්භ වූ බව පෙනේ, එය පසුව ප්‍රකාශන මගින් අත්තටු ලබා ඇත. කෙසේ වෙතත්, ලී මෙම ප්‍රකාශය කළ බවට තහවුරු කිරීමට ප්‍රාථමික මූලාශ්‍රවලින් සෘජු සාක්ෂි නොමැත. ලී ලංකාව පිළිබද සහ එහි පාලකයන් පිලිබඳ විවිධ අර්ථකතන දී ඇත. බොහොමයක් විවේචනාත්මකය තරමක සම්මච්චල් සහගතය. ලංකාවේ සිවිල් යුද්ධය අවසන් කිරීමට හැකිවෙතැයි නොසිතුබව පෙනෙයි.



දේශපාලන දර්ශනය

සිංගප්පුරුවේ ආර්ථිකය එහි දේශපාලන දර්ශනය සමග දැඩි ලෙස බැඳී පවතියි. එය දකුණු කොරියාව වැනි ආර්ථික වශයෙන් ස්ථාවර නමුත් දේශපාලනික වශයෙන් අස්ථාවර රටකට වෙනස් වෙයි. සිංගප්පුරුව වසර 60ක ස්වාධීන රාජ්‍යක්  ලෙස පැවතිමේදී එය පාලනය කර ඇත්තේ ලී ක්ව්‍යාන් යූ විසින් බිහිකල PAP පක්ෂය මගිනි. එයිනුත් වැඩිම කාලයක් ලී  සහ ඔහුගේ පුත්‍රයා අගමැති දුර දැරූ අතර (එකතරා ආකාරයක පවුල් පාලනයක්) තවමත් ලී ගේ දර්ශනයන් අනුගමනය කෙරේ. ප්‍රධාන විපක්ෂය වන WP පක්ෂය වඩා වගකිවයුතු විපක්ෂයක කාර්යභාරයක් ඉටුකරන අතර කඩාකප්පල්කාරී වර්ජන, මඩ, අවලාද, සංවර්ධන කඩාකප්පල් කිරීම වැනි බල-  වාපෘති නොකරයි. ඔවුන්ගේ යෝජනා සමස්ථ වැසියන්ගේම යහපත උදෙසා වෙයි. 


සිතුවිළි  ක්‍රියාකාරිකම : 1960 හා 70 දශකයේදී සිංගප්පුරුව වාමාංශික දේශපාලනය මර්ධනය කොට වෘත්තීය සමිති ව්‍යාපාර අඩපන කීරීම ලංකාවේ සිදු වුනි නම් ආර්ථික ප්‍රගමනයකට හේතුවිය හැකිද ? නොඑසේනම් එය වැඩකරන ජනතාවගේ අයිතිය කප්පාදු කිරීමක් සහ දේශපාලන නිදහස අහිමි කිරීමක්ද? උතුරු කොරියාව වාමාංශික දේශපාලනය තබාගෙන දක්ෂිණාංශික දේශපාලනය මර්ධනය කළේය. දැන් රටවල් දෙක අතර සංසන්දයක්  ඔබට දැකිය හැකිද ? ඔබ කැමති උතුරු කොරියාවේ පදිංචියටද  සිංගප්පුරුවටද?



                                                                      1960

දේශපාලන නිදහස 

සිංගප්පුරුව ප්‍රජාතන්ත්‍රවාදී රටකි. එය උතුරු කොරියාව වැනි පුද්ගල නිදහස අතිශයින්ම සිමා කොට නැත. එහෙත් බටහිර කෝනයෙන් ඇති වල්බුරු නිදහසක්ද නොවේ. තමන් කියන දේ, කරන දෙයහි, වගකීම දරාගතයුතුය. වර්තමානයෙහි ලංකාවේ දකින්නට ඇති e news චමුදිත (You Tube) පන්නයේ චෝදනා නම් කිසිවෙක් නොකරයි. රැස්වීම් උද්ගෝෂන විරෝධතා පැවැත්විය යුත්තේ පුර්ව අවසරයකින් යුතුවය. Gota Go Home අරගල ලෝකය පුරා පැතිරෙද්දී ගෝටා කරදරයකින් තොරව සිංගප්පුරුවට පය ගසා ජීවත්විය. මාධ්‍ය සම්පුර්ණයෙන් රජයේ පාලනයකින් යුතුව පවතී. තමන් කැමති දේශපාලනයක් කිරීමේ නිදහස වලකා නැති නමුත් අනවශ්‍ය කුලප්පු කීරීම  තහනම්වෙයි.


සිතුවිළි  ක්‍රියාකාරිකම : ලංකාවේ වර්තමාන පාලක පක්ෂය විපක්ෂයේ සිටියදී පෙනී සිටියේ කුමන ආකාරයේ දේශපාලන නිදහසක් වෙනුවෙන්ද?


දේශපාලකයා 

සිංගප්පුරව දේශපාලකයා හුදෙක් ජනතා සේවකයෙක් ලෙස නොදකී. ඔවුන් දේශපාලකයා ප්‍රධාන විධායක නිලධාරියෙක් ලෙස දකී . ඔහු උගත් මෙන්ම ප්‍රායෝගික හැකියාවෙන් යුක්ත වියයුතුය. දුෂණය අවම කිරීමට සහ නිදහස් ජීවිතයකට ඔවුන්ට ඉහලම වැටුප් හිමිවෙයි. මේ සියල්ලක් තුලත් zero corruption  ළඟාකර ගැනීමට සිංගප්පූරුව සිහින නොදකී. සිංගප්පූරු ප්‍රවාහන ඇමති දඬුවමකට යටත් කිරීම මෙහි මෑතම සිදුවීමයි.

සිතුවිළි  ක්‍රියාකාරිකම : ලංකාවේ මනස්ගාතය දුෂිත දේශපාලුවන් වෙනුවට නොකා නොබී කරන ජනතා සේවයක්ද? ජනතාවට නැති කිසිවක් දේශපාලකයා ප්‍රතික්ශේප  කරන්නේද ? චාමර සම්පත් කැබිනෙට්ටුවේ සිටිය යුතු චරිතයක්ද ?

Category           Sri Lanka 🇱🇰 (SGD/month)       Singapore 🇸🇬 (SGD/month)
Average Gross Monthly Salary           219 5,500
Head of State (President)           427 128,333
Head of Government (PM)           305 183,333
Ministerial Salary           292 91,667


භූ දේශපාලනය 

මේ දේශපාලන ස්ථාවරත්වයත් සමග ඔවුන් ලංකාවට වඩා හාත්පසින් වෙනස් ක්‍රම අනුගමනය කරයි. රට පිහිටිමේදී ලංකාවට ඉන්දියාව ආසන්නව පිහිටීම විවිධ ආක්‍රමණ ඔත්තු කරුවන් සහ බලපෑම්වලට යටත් වූවද සිංගප්පූරුවේ අසල්වැසියා වන මැලේසියාව සිංගප්පූරුව  කෙරෙහි ඇති නම්‍යශීලි බව දේශපාලන ස්ථාවරත්වය කෙරෙහි වැඩිදුරත් බලපායි. සිංගප්පූරුව වරක ඇමෙරිකා හිතවාදිවද චීනය සමග යහපත් වෙළඳ ගනුදෙනු කරමින්ද හැසිරෙයි. වෙනත් බලවත් රටවල් විවධ ඔත්තුසේවා ක්‍රියාත්මක කරන ආකාරය ඉතා සමීපයෙන් නිරීක්ෂණය කරයි. සිංගප්පූරුව ඉතා කුඩා රටකි. කොළඹ දිස්ත්‍රික්කයට තරමක විශාලත්වයක් සහිත වීම නිසා ඉඩකඩ හා සම්පත් සීමිතය. නීතිය හා සාමය ආරක්ෂා කිරිමෙදී එය වාසියට සිටියි.

සිතුවිළි  ක්‍රියාකරිකම . ඉන්දියානු භූ දේශපාලනය වෙනස් කිරීමට ලංකාවට නොහැකි නිසා එය වඩාත් හොදින් කළමනාකරණය කල අතීත පාලකයන් කවුද ?


ජාතිවාදය 

සිංගප්පූරුව තුළ  ජාතිවාදී පක්ෂ දේශපාලනය තහනම් වෙයි. එහෙත් තවමත් රට පාලනය වන්නේ බහුතර චීන  සම්භවයක් ඇති පාලකයන්ගෙනි. නාමික ජනාධිපති පදවිය ප්‍රධාන ජාතින් වන චීන මැලේ දෙමළ(ඉන්දියන්) අතර කාලපරතරයකින් බෙදී යයි. රටේ ඉතිහාසය ඉතා කෙටි බැවින් බහුවාර්ගික බහු සංස්කෘතික රාජ්‍යක් බිහිවීම ඉතා පහසුය. ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි නමුදු පාසැල්වල මව් භාෂාව අනිවාර්ය වෙයි. කිසිදු ජාතියකට තමන් කැමති ස්ථානයක පදිංචිවිය නොහැකි අතර එය රජය මගින් වාර්ගික කෝටාවකට යටත් කොට ඇත. 


සිතුවිළි  ක්‍රියාකාරිකම : ලංකාවේ ජාතිවාදය තුරන්කිරීමට ජාතිය මත පදනම් වූ දේශපාලන පක්ෂ තහනම් කල යුතුද? රටේ පදිංචිවන ස්ථානය ජනවර්ග අනුපාතයකට යටත් විය යුතුද?



https://www.youtube.com/watch?v=GartZfRL9R4


සංචාරකයෝ 

ලංකාවේ සංචාරක කර්මාන්තය ආර්ථිකයට පිටිවහලකි. ලංකාව විකුනන්නේ දීර්ඝ ඉතිහාසය, සොබා සෞන්දර්ය, වෙරළ තීරය වැනි දේය. මෙය දීර්ගකාලයක් පුරා පවතින අතර ඉතා කුඩා සිංගප්පුරුවට මේ කිසිවක් නැත. එහෙත් ඔවුන්ගේ සංචාරක පැමිණීම ලංකාවට වඩා ඉතා ඉහළිනි. MICE Meetings, Incentives, Conferences, Exhibitions වලට ගෝලීය කේන්ද්‍රස්ථානය මේ කුඩා රටය. medical  tourism, Cruise & Port Tourism සමග casino  අදායම ඔවුන් ආකර්ෂණය කරගන්නේ ඉහල පෙලේ සංචරකයින්ය. එහෙත් මත්ද්‍රව්‍ය ගංජා සහ (ප්‍රසිද්ධියේ) ගණිකාවන්  වැනි දේ මෙහි අලවි නොවේ. Night  life  යනු විනෝදය සමග ආරක්ෂිතව සපයන දෙයකි. 



SL 2019 SL 2024 Change (%) SG 2019 SG 2024 (Forecast) Change (%) Sources
Tourist Arrivals 1.92 million 2.05 million +7.0% 19.1 million 16.5 million −13.6% SLTDA, STB
Tourism Revenue US$3.6 billion US$3.17 billion −11.9% SGD 27.1 billion (~US$19.8 B) SGD 27.5–29 billion (~US$20.1–21.2 B) +1.5–7% CEIC, WorldData, Singapore Tourism Board, The Star

තේරෙනවනේ  කොහොමද ආදායම කියලා ? ලංකාවේ පැමිණීම වැඩිවුනත් අදායම වැඩිවෙන්නේ නැහැ. 


සිතුවිළි  ක්‍රියාකාරිකම : PORT CITY 2015 සිට පමාවීම තුලින් තෝන් මුදලාලි ආර්ථිකයට සිදුවූ බලපෑම කොපමණද ? F 1 පථයක් port city  තුළ  ඉදිනොකිරීමට 2015 ගත් තීරණය සාධාරණද ? ජ්‍යාතන්තර මට්ටමේ events තවදුරටත් ලංකාවට ආකර්ෂණය කරගත නොහැකි වුයේ ඇයි ?



ZERO FAILURE 

සිංගප්පූරුව  දියුණු වුවේ ජයග්‍රහණයෙන් පමණක් නොවේ . එහි පසුබෑම් බොහොමයකි. නමුත් මේ පසුබෑම් ඔවුන් අත්දැකීම් ලෙස යොදා ගනියි. එකම වරද නැවත නොකිරීමට වග බලාගනියි. නිතරම වගවීම ඉහලින් තියාගත් නමුත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් කිරීමකට වඩා වෙනස් ක්‍රමයක් අනුගමනය කරයි. 1970 දශකයේ සිංගප්ප්පුරුව රෙදිපිළි ඇගලුම් සහ කුඩා කර්මාන්ත ආර්ථිකයක් අත්හදා බැලීය නැව් තටාකාංගනයක් ඉදිවිය එහෙත් රෙදිපිළි ඇඟලුම් කුඩා කර්මාන්ත අසාර්ථක ව්‍යාපෘති විය නැව්  තටාකාංගනය ආරක්‍ෂිත බව අතින් පහලට වැටුණි. 1990 සිංගප්පූරුව  චීනයේ Suzhou Industrial Park (SIP) බිහිකිරීමට ඩොලර් බිලියන ගණනක් යෙදවීය. එය Suzhou පළාත් රජය විසින් අනුගමනය කල ක්‍රියා නිසා සිංගප්පුරුවට දැඩි අලාභයක් අත්කරදුනි. වහාම සිංගප්පූරුව එහි අයිතියේ කොටස් ප්‍රමාණය චීනයට පවරාදී තම උපායමාර්ගය වෙනස් කරගත්තේය. මේ ආකාරයටම වර්තමානයේ ඉහල අදායමක් උපයන MICE Industry (Meetings, Incentives, Conventions, Exhibitions) 1970 සිට විශාල පසුබෑම්වලට ලක්විය. තීන්දු තීරණ ගැනීමට ඉඩදෙන අතර ඒවායේ වැරදීම් ඉවසයි. එහෙත් අදාල  තීන්දු තීරණ පෞද්ගලික වරදාන වරප්‍රසාද මත නොවිය යුතු බව අවධාරණය කෙරෙයි.


සිතුවිළි  ක්‍රියාකාරිකම : සිංගප්පුරුව මෙවැනි පසුබෑම් වලට දක්වන ප්‍රතිචාර කෙසේවෙවිද ? දේශපාලකයන්ගේ Blame Game / කොමිෂන් සභා / දණ්ඩනීති සංග්‍රහය යටතේ දඩුවම් ? මේ පසුබෑම් වලට අදාලව තීන්දු තීරණ ගත් අය සිරගත කලාද ? .


Temasek, ආසයි නේ ?

දේශපාලකයන් නිතර මතුරන අනෙක් වචනය, මේ රාජ්‍ය පෞද්ගලික ආයතනයයි. එය ස්වාධින බව ලංකාවේ අය කියති. එහෙත් ටෙමසෙක් පාලක මණ්ඩලය නිතර රජයට පක්ෂපාතිත්වයක් දරන අයවිසින් හොබවයි. හොඳම උදාහරණය   CEO (2004–2021) Ho Ching යනු එවකට අගමැති  Lee Hsien Loong ( Lee Kuan Yew ගේ පුත්‍රයා) ගේ බිරිඳ වීමයි. ඔවුන් මුලින් සිංගප්පූරු  සමාගම් කළමනාකරණය මගින් ලාභ ඉපයූ අතර කිසිවිටෙකත් CPF (ලංකාවේ pension /EPF ) හෝ බදු ආයෝජනය නොකරයි. එහෙත් මුලින් පවරාගත්තේ  ගුවන් සමාගම /Singtel Telco සමාගම / DBS  බැංකුව වැනි රාජ්‍ය සමාගම්ය. Temasek  විසින් කරනු ලැබූ ඇතැම් ගනුදෙනු ප්‍රශ්නකාරිය . ඔවුන් සෑම  ආයෝජනයකින්ම  ලාභ ඉපයුවා කිව්වොත් එය බොරුවකි. Sam Bankman-Fried විසින් කරන ලද Crypto බොරුව ( FTX Collapse (2022)) සමස්ථ  ලෝකයම කළඹන්නට සමත්විය. Temasek විසින් මේ කූට සමාගමේ ආයෝජනයෙන් අහිමිවූ මුදල dollar මිලියන 275කි. මේ ආකාරයට ඔවුන් විසින් විවිධ ඇමෙරිකානු බැංකු සමාගම් ආයෝජන බ්‍රසීලයේ ආයෝජන Temasek  හට මිලියන බිලියන ගණනින් අලාභ ඇත කරදුනි.  ටෙමසෙක් වලට අමතරව GIC ලෙස CPF  අරමුදල් ආයෝජනය කරන සමාගමක් පවතින අතර එය සම්පුර්ණයෙන්ම රජයේ පාලනය යටතේ පවතී. එහි ආයෝජනය Bonds, Bills වැනි ඒවා වෙයි. මේ ආයෝජන ප්‍රසිද්ධියට පත් නොකරන නමුත් විවිධ කාල වල ඔවුන් පාඩු ලැබූ ආයෝජනවල නිරත වූ බව පෙනෙයි. 


https://www.channelnewsasia.com/commentary/temasek-ftx-investing-team-cut-compensation-punishment-accountability-3535691

 

සිතුවිළි  ක්‍රියාකාරිකම : ඉතා ඉහලින් දැනුම ඇති Temasek  වැනි ආයතන පවා තමන්ගේ ආයෝජන වලින් පාඩු ලබයි. බොහෝ දැනුම් තේරුම් ඇතුව සොයා බැලුවත් Sam Bankman-Fried වැනි වංචාකරුවන්ට හසුවෙයි. ශ්‍රී ලංකාවේ  risk appetite එක හුදෙක් ආයෝජන මතම තීරණය වේවිද? පාලක පක්ෂයේ අවංකභාවය විපක්ෂ බලවේගවල සැකය. Social  media බක පණ්ඩිතයන්ගේ උපදෙස් මේ සියල්ල දෙස ඔබට උපේක්ෂා සහගතව බලා සිටිය හැකිද?


ධනවතුන් 

සිංගප්පුරුව යනු ආයෝජකයන්ට සහ ඉහල ධනවතුන්ට පාරාදීසියකි . Eduardo Saverin ( Co -Founder Meta ) ඇතුළු ධනවතුන් රැසක් සිංගප්පූරුව  නම් කුඩා දිවයින නිවහන කරගෙන ජිවත් වෙයි. එවැනි පාරාදිසියක කළු සල්ලි ආයෝජනය නොවැලක්විය හැකි  නමුත් සිංගප්පූරුව එවැනි නීති සම්පාදනයකොට අවැසි වුවහොත් ක්‍රියාත්මක කරයි.  2023 එවැනි සිදුවීමකින් පසු ඇතිවූ රාජසන්තක කිරීමෙන් සත්‍යවශයෙන්ම සිංගප්පුරුවට dollar  බිලියන ගණනක වත්කමක් ලැබුන අතර සියලු විදේශිකයන් පිටුවහල් කරන ලදී. බැංකු වලට දඩයක් නියම විය.


සිතුවිළි  ක්‍රියාකාරිකම : ලංකාව බිලියන පතියන් ආයෝජකයන් ගෙන්වාගන්නේ කෙසේද ? කළුසල්ලි  ආර්ථිකයට මුදාහරින්නේ කෙලෙසද ? ආයෝජකයන්ගේ සුරක්ෂිතභාවය සුරැකිය හැකිද ? වැරදි කරුවන්ට දෙන දඬුවම් මොනවාද ?


අධ්‍යාපනය සහ මානව හිමිකම් හා නීතිය 

සිංගප්පූරු අධ්‍යාපනය යාවත්කාලින නමුදු දැඩි ආතතියක් ළමයිනට දෙන බවක් කියයි. විශේෂයෙන් විභාග ක්‍රමය තරඟකාරිය. STEM අධ්‍යාපනය ප්‍රභලය . නමුත් නිතරම අලුත්වෙන නිසා ළමයින්ට නව දැනුම ලබාගත හැක. ඕනෑම ළමයෙකුට වෘතිය අධ්‍යාපනයකට මග පාදයි. 

බටහිර වල්බූරු  මානවහිමිකම සිංගප්පුරුවේ නැත. මත්ද්‍රව්‍ය සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක වෙයි. කස පහර ලබාදෙයි. සමාජ මාධ්‍ය වගකීමෙන් භාවිතා කලයුතුවෙයි. බොරු, පච, පට්ටපල් බොරු, අතේ පැලවෙන බොරු, හිතළු,  ඔය මොනවාවත්  social media  තුල ප්‍රකාශ කල නොහැක. නිතිය අකුරට පමණක් නොව ඉක්මනින් ක්‍රියාත්මක වෙයි. බොහෝ නඩු ඉතා ඉක්මනින් අසා ඉවරවෙන අතර බොරු නඩු පටලවා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමක් නොවෙයි. 


https://youtu.be/nPZ8Kj1nIAU?si=tMA12LXHCbLVfCfF

සිතුවිළි  ක්‍රියාකාරිකම :  සුදා, චමුදිත පන්නයේ සමාජ මාධ්‍ය ඔබ අනුමත කරන්නේද ? ඒවායින් අගතියට පත්වෙන පාර්ශව වෙත සාධාරණයක් ලැබීම ඔබ අනුමත නොකරයිද ? නීතිය  ක්‍රියාත්මකවීම යනු රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම නොවන බව ඔබ කෙදිනක හෝ විශ්වාස කරයිද ?


අධ්‍යාපනය සෞඛ්‍ය ප්‍රවාහනය සියලු ශේස්ත්‍රවල  සිංගප්පූරුව ආවේනික මොඩල ක්‍රියාත්මක කරයි  . ඉහත වීඩියෝව සිංගප්පූරු  දේශපාලකයා  පිළිබද මන චිත්‍රයක් මවයි.

ඉදින් ලංකාව සිංගප්පුරුවක් කිරීමට නම් අපේ ආකල්ප සහ සිතුවිලි වල බොහොවෙනස් කම් සිදුවිය යුතුය. සිංගප්පුරුව මෙකි දියුණුව අත්කරගත්තේ දවසින් දෙකින් නොවන බවටත් සම්පුර්ණ බටහිර පන්නයේ නිදහසක් අපේක්ෂා නොකළ බවත්  තීරණ ගැනීමේදී ඇතිවන දෝෂයන් සඳහා යොදාගන්නේ වෙනම ක්‍රමවේදයක් බවත් වටහා ගැනීම මැනවි. මේ සියල්ලටම ඉහලින් සිටින දේශපාලකයන් යනු ගොබ්බයන් පිරිසක් නොවනඅතර ඉහල වැටුප් තලයක ඇති ව්‍යවසායකත්ව මට්ටමේ පිරිසකි.  සිංගප්පුරුවේ දියුණුව කැමති මෙන්ම අකමැති ලක්ෂණයන් ගෙන්ද යුතුවෙයි. එම ලක්ෂණයන් එකිනෙක වෙන් කළනොහැකි ලෙස බැඳී පවතින බව පමණක් නිහඬ මට දැනේ.