හෙන ඉල්ලන්නට පෙර කියවන්න…..!

ලංකාවේ තොරතෝංචියක් නැතුව නඩු. අල්ලස් කොමිසම CID එක නීතිපති දෙපාර්තුමේන්තුව ඔක්කොම ගජරාමෙට වැඩ.දේශපාලකයෝ නිලධාරීන් බලධාරීන් වෛද්‍යවරු එක පොදියට රිමාන්ඩ්. මේ සුදු කරපටි අපරාධකාරයෝ.
මේ තොරතුරුත් එක්ක සමාජය පොඩි ත්‍රිල් එකක ඉන්නවා.
සැමට එක නීතියක් කියන එක හැම දේශපාලන වෙදිකවකම ඇහෙනවා.අපි අප්පුඩි ගහනවා. ආණ්ඩු මාරු වුනහම ඔන්න කෙදිරිගන්න එපා කියලා නඩු පටන්ගන්නවා. මෙලෝ දෙයක් දන්නේ නැති පාක්ෂිකයා වහලෙක් වගේ විසිල් ගහනවා.අඩුම ගණනේ රිමාන්ඩ් කරන්නේ සැකකරුවෝ, ඔවුන් නිදහස් වෙන්න පුළුවන් කියලවත් දන්නේ නැහැ.
මම ඉතින් නිහඬ පුද්ගලයෙක් හින්දා හැමදේම වෙනස් විදියකට දකින්න කැමතියි. ඇද පළුදු නෙමෙයි. එත් ඉතිං වෙනස්.
මෑතකදී එක නඩුවක් නැගලා යනවා. ඇය වෛද්‍යවරියක්. නිකම්ම නෙමෙයි ස්නායු ශල්‍ය වෛද්‍ය . ඒක ටිකක් දුර ගිහින් දුවත් රිමාන්ඩ් කරනවා මයේ හිතේ දවසකට දෙකකට. මේ අය සමාජයේ ඉහළින් හිටිය බොහෝ ප්‍රභූන් දන්නා අඳුරන අය . මට කොයි වෙලාවකවත් ජිවිතයේ මේ වෛද්‍යවරිය හමුවෙන්න වෙලා නැහැ. නමුත් මවලා තියන චිත්‍රය හරි නපුරුයි. ලංකාවේ ස්නායු වෛද්‍යවරු හරිම අඩුයි. කොල්වින් සමරසිංහ සුනිල් පෙරේරා තමයි බොහෝ කාලයක් කොළඹ රජවරු වගේ හිටිය අය. දැන් විශ්‍රාමිකයි. ජයවර්ධනපුර රෝහලේ හිටපු කෙනා තමයි දැන් රිමාන්ඩ්.මතක තියා ගන්න ජයවර්ධනපුර රෝහල නොමිලේ පමණක් බෙහෙත් කරන තැනක් නෙමෙයි. ගැටළුව ඇතිවෙලා තියෙන්නේ EVD කියන මොළය ආශ්රිත සවිකරන ශල්‍ය උපාංගයක් සම්බන්ධව. EVD උපකරණ ගත්තොත් Basic සෙට් වල ඉඳලා ඉහලට තියනවා. ඒක නිසා හැම EVD උපකරණයක්ම සමාන නැහැ , මිල අඩු ඒවගේ සහ මිල වැඩි ඒවගේ උපාංග වගේම ක්‍රියාකාරිත්වයත් වෙනස්. නඩුවේදී තාම මේ ගැන අනාවරණය වුනේ නැහැ.නමුත් වෛද්‍යවරියට සම්බන්ධ යැයි සැක කරන සමාගමක් හරහා රෝගීන්ට මෙම උපකරණ මිලදී ගැනීමට බල කරන වග තමයි වාර්තා කරල තියෙන්නේ.
මේ අල්ලස් නඩු වගේම වෙනත් නඩු පොඩ්ඩන්ටත් වැටෙනවා. ඒව එච්චරම ත්‍රිල් නැහැ. අවුරුද්දකට දෙකකට ඉස්සර හොරෙන් පොල් හරි කොස් ගෙඩි හරි ගත්ත අම්මාකෙනෙක් අනුරාධපුරයේ අත්අඩංගුවට පත්වුණා. හරිම දාර්ශනික කොමෙන්ට් වැහිවහලා. කියන්නේ තෝරු මෝරු බේරිලා හාල් මැස්සා අහුවුණා කියලයි.
අර වෛද්‍යවරිය තවම වැරිදි කාරියක් කරලත් නැතුව හෙන ඉල්ලනවා. ඒ අස්සේ ඇහෙනවා අපේ බදු මුදලින් ඉගනගත්ත වගේ කතාවලුත්. ( ඔය වෛද්‍යවරිය ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය ලබපු කෙනෙකුත් නෙමෙයි). සමහර You Tube කාරයෝ Facebook කාරයෝ බ්ලොග් ලියන්නෝ කවි කතන්දරත් ලියනවා.
එතකොට පැහැදිලියි සමාජය ඉල්ලන දෙයක් තියනවා. මෙන්න මෙතන තමයි සාධාරණත්වයේ විරුද්ධාභාෂය එන්නේ. (Paradox)
ධනවත් බලවත් අයට නීතිය තදිනුත්(උපරිමයටත් එහා). දුප්පත් නිර්ධන පංතියට නීතිය ලිහිල්වත් ක්‍රියාත්මක වියයුතුද?
එහෙම හිතන සමාජයක් බිහිවුනහම සමාජයේ මානසිකත්වය හැඩ ගැහෙන්නේ මෙහෙමයි.
ධනවතුන් ඔවුන්ගේ සමාජ තත්වය උපයෝගීකරගෙන සිද්ධිය යට ගහන්න බලනවා. එහෙම නැතිවුනත් ඔවුන්ට නීතියේ සහය උපරිමව ලැබෙනවා. දැන් මේ වෛද්‍යවරියට පෙනී සිටින්නේ ඉහළම නීතිවේදීන් පිරිසක්. නිර්ධන පන්තියේ වැරිදි කරුවෙකුට මෙහෙම් නීති සහයක් ගැන හිතන්නවත් බැහැ . දඩයක් වගේ ගෙවන්න ගත්තහම නිර්ධන පංතියේ අයට බරක් වුනාට ධනවත් බලවත් කෙනෙකුට සුළු දෙයක්.
දුප්පත් කෙනෙක් වරදක් කරහම එකේ කොනක් සමාජයටත් බාර කරනවා. දුප්පතුන් දුප්පත්වුනේ ඔවුන්ගේ වරදින් නොවයි සමාජයේ වරදක් නිසා කියලා තමයි සම්මත වෙන්නේ. කොහොමටත් system එකේ වරප්‍රසාද ඔවුන්ට ලැබෙනවා අඩුයි. ඔවුන් වෙනුවෙන් තනිතනිව හඬක් නැගෙන්නේ නැහැ.
ඔන්න ඔහොම සමාජයක ධනවත් කෙනෙකුට දෙන දඩුවම සමස්ථ සමාජයටම පාඩමක් හැටියට උත්කෘෂ්ටයට නංවනවා . (Symbolic Justice)
මේක එතනිනුත් එහාට යන්නේ මාධ්‍ය මගින්. ඔවුන් ධනවත් පුද්ගලයා කෙරෙහි වෛරයක් ඇතිවෙන විදිහට රුපයක් මවනවා . සමාජය ධනවතා දිහා බලන්නෙම සාමාන්‍ය ජනතාව සූරා කන මිනී කාක්කෙක් ලෙසයි. වෛද්‍යවරිය මලමිනියකටත් ශල්‍යකර්ම කරා කියලා කියන්නේ ඒකයි.
මෙහෙම සිතුවිලි ඇත්තටම සාධාරණද?
මේකට විරුද්ධ තර්කය තමයි නීතිය සැමට සමාන විය යුතුයි කියන එක. පුද්ගලානුභද්ධ දඩුවම් වෙනුවට වරදට සාපේක්ෂව දඬුවමක් ලැබිය යුතුයි කියන එක.
දුප්පතා system එකේ අවම වරප්‍රසාද ලැබීමත්; ධනවතා symbolic punishment ලැබීමත්, දෙකම අන්ත දෙකක්.
අපි සමාජය මේ අන්ත දෙකෙන් මද තැනකට ගෙන ඒම තමයි සිදු කලයුත්තේ. සිංගප්පුරුව වගේ රටක් මේක සැහෙන දුරකට සාර්ථකව කරනවා.
ලංකාවේ ආණ්ඩුව මේ ආන්තික ස්වභාවය වර්ධනය කරන බව තමයි කණගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ. මේකට සෑහෙන බලපාන්නේ ඔවුන්ගේ සාමුහික සිතුවිලි වල ගැඹුරින් එලලතියන මාක්ස්වාදය වෙන්න පුළුවන්.
නීතියේ සමනත්වතාවය හිමිවෙන්නේ පන්ති පරතරය නැති කාලයකට කියලා තමයි මාක්ස්වාදියෝ විශ්වාස කරන්නේ. නිර්ධන පංතියත් ධනපති පංතියත් ඉන්නකන් නීතියේ තරාදිය ධනපතියන් පැත්තට නැමිලා තියනවා කියන අදහසින් තමයි වර්තමාන ආණ්ඩුවේ කටයුතු වෙන්නේ. එතකොට සමාජයත් මේ වෛරී ප්රකාශනයකට තල්ලුවෙනවා.
කලයුතුවෙන්නේ දුප්පතාටත් නීතියේ සහය ගන්න පුළුවන් අවස්ථාවක් උදාකරන එක.නීතියේ අකාර්යක්ෂමතාවය අඩු කරන එක. දැනට නඩුවක් ගොනුකරන්න කොච්චර කාලයක් යනවද. එහෙම ගොනුකරත් නඩුවලත් කොච්චර technical errors තියනවද? අවුරුදු ගණන් සැකකරුවෝ රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනවා සාක්ෂි සොයන්න. අනතුරුව ගොනුකරන නඩුව අව්රුදු ගණන් ඇදෙනවා. මේකෙන් අපරාධකරයාටත් වින්දිතයටත් කිසිම සෙතක් නැහැ.
වර්තමානයේ අපිට පෙනෙන්න තියෙන්නේ නිතිය ක්‍රියාත්මක කරන ආයතන ශක්තිමත් කාර්යක්ෂම කරනවා වෙනුවට දෙපාර්තුමෙන්තුවල කොමිෂන් වල නිලධාරීන් අඩි හප්පන සංදර්ශනයක්. එවායින් දිගු කාලීන සෙතක් නැහැ. වහල් සමාජයකට අප්පුඩි ගහන සෙල්ලමක් විතරයි.
වෛද්‍යවරිය සම්බන්ධව නඩුවෙන් ඉදිරියට සමාජ කතිකාවතක් ගොඩනගන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. නමුත් නීති හෝ වෛද්‍ය ක්ෂේත්රයේ මෙහෙම කතිකාවක් දැක්කේ නැහැ.
1. වෛද්‍ය ආචාර ධර්ම (Medical Ethics )
2 Informed Consent
3. Conflict of Interest
4. Hospital Policy
5. Shared decision-making
6. Transparency
7. Big Pharma and conflicts.
මෙම කරුණු ගැන කතිකාවක් ඇති උනානම් එයින් කොපමණ තරුණ වෛද්‍යවරු නීතිවේදීන් සමාජ ක්‍රියාකාරිකයින් පිරිසක් දැනුවත් වෙයිද?
දැනට ලංකාවේ දැඩි ප්‍රශ්නයක් වෙලා තියන ඖෂධ සමාගම්වල නියෝජිතයන් දෙන අල්ලස් (බොහෝවිට තායිලන්තය සිංගප්පුරුව වගේ රටවලට පොඩි සවාරියක්.) ගැන කථාවක් නැහැ. දියුනු රටවල ඖෂධ නියෝජිතයන්ට වෛද්‍යවරු හමුවීමට බාධාවක් වශයෙන් විවිධ නීති ක්‍රියාත්මකවෙනවා.
ඒවුනත් ශල්‍ය උපකරණ සම්බන්ධයෙන් නම් දියුණු රටවලත් ඖෂධ නියෝජිතයන් ශල්‍යාගාරය ඇතුලටම එනවා. මේක විකලාංග ස්නායු ශල්‍ය වෛද්‍ය වගේ අංශවල ඉතා වැඩියි . ඔවුන් උපකරණ අලෙවිකරණය නෙමෙයි තමන්ගේ සමාගමේ උපකරණය හරි ආකාරව සවිකරන්න කියලා දෙන තාක්ෂණික උපදෙස් දෙන සමාගම් නියෝජිතයන් . මෙවැනි උපකරණ කෙලින්ම ශල්‍යාගාරයට තමයි ලැබෙන්නේ.
මේ ඔක්කොමත් එක්ක මට හිතෙන්නේ වෛද්‍ය හා නීති ක්ෂේත්‍ර දෙකම තියෙන්නේ ගව් ගණනක් පසුපසින් කියලයි. සද්භාවයක් සහිත නම් සෞඛ්‍ය ඇමතිට තියනවා කරන්න වැඩ ගොඩක්.
ඒ මොනවා වුණත්, ඔබ මොන පක්ෂයකට කඩේ ගියත් හෙන ඉල්ලලා පොස්ට් දාන එක හරි comment කරන එක හරි ලොකුදෙයක් කියලා හිතන්න එපා. මේ වෛරී රැල්ලෙන් මිදෙන්න උත්සහ කරන්න. ඔබ කැමතිම දේශපාලන නායකයා කට උල් කරලා අත අඹරලා කියන හැම බොරුවක්ම විශ්වාස කරන්න එපා.හැමදේම විචක්ෂණශිලිව බලන්ඩ . ඔන්න ඔහොම තමයි ආකල්ප වෙනස් වෙන්නේ. එතකොට අර නීතියේ දෙවඟන උනත් තරාදිය බැලන්ස් කරලා තීන්දුවක් දෙනවා. ඔය වගේ ලස්සන දවසක් එනකන් තමයි මමත් නිහඩවම බලාගෙන ඉන්නේ.
නිහඬපාල මහත්මයා මගේ විශේසන්ඥ වෛද්‍ය යාළුවෙක් එවපු ලිපියක් මම මෙතන පල කළා . -https://anogamaya.blogspot.com/2025/07/blog-post.html
ReplyDeleteප්‍රශ්නේ මේකනේ මෙපමණ කල් සල්ලි තියෙන උන් බේරුනා . අර ජයමහ වගේ . නිර්ධන් පන්තිය හෝ මුකුත් බැරි පන්තිය හැම වෙලාම ඇතුලේ . ඕකනේ ඇත්ත දැන් ඕක අනිත් පැත්ත පෙරලිලා . අපි මධ්‍යම පන්තියේ නිසා රිදෙනවා ටිකක් වෙන්න . නැත්ද
ඔය ළමයි පිටරට විශේෂයෙන් එංගලන්තේ ඇමෙරිකාවේ ඉගෙන ගන්න වෛද්‍යවරු ඔක්කොම ඒ වියදම් පියවා ගන්න ඔය වැඩේ කරනවා . ඒකට ලංකාවේ පෞද්ගලික් විශ්ව විද්‍යාල හැදුව නම් ඉවරයි .
ReplyDelete