Wednesday, December 17, 2025

උපදේශකයෝ

 



ලංකාවේ ජනාධිපතිතුමාට ලෝකේ වටේම උපදේශකයෝ වැහිවැහැල. සමහරක් දැන් තරමක් හිත නොහොඳින්. මේ අය ස්වේච්චාවෙන්ම උපදෙස් දෙන අය. නිල විදිහට මම දන්නේ මහාචාර්ය ගෝමික , උන්නැහේ විද්‍යා උපදේශක. අර පොස්පේට් හදන්න උත්සහකරන්නේ. අනිත් අය බහුතරයක් ජනධිපතිතුමාට රට කරන හැටි කියලා දෙන අය. හරියට උන්දැලා ජනාධිපති පුටුවේ වාඩි වුනානම් කොරයි වගේ.මේ සමහර උපදෙස් ඇත්තටම ජනාධිපතිතුමාගේ නරකට හේතු වෙනවා කියලයි මට හිතෙන්නේ.එහෙම අය ලියනවා ජනාධිපතිතුමාට සිංගප්පූරුවේ LKY 1960 දශකයේ කරා වගේ කරන්න කියලා. පැහැදිලිවම විරුද්ධවාදීන් මර්ධනය කරලා ඔවුන්ගේ දුර්වල තැන් හොයලා හිරේ දාන්න කියලා. ඒ අතරේ තමන්ගේ පක්ෂයේ එක් කෙනෙක් දෙන්නෙක් දඬුවමට යටත් කරන්න කියලා. එතකොට නිකන් නීතිය සාධාරණ වගේ පෙනෙයි කියලා. සිංගප්පූරුව ගැන ඒගොල්ල මවන චිත්‍රයක් තිබුනනේ. ඒ ගැන මම මීට කලින් ලියලා තියනවා. හැම තිස්සෙම මේ අය  කරන්නේ තමන්ට වාසි සහගත කොටස අරගෙන අපට කියන එක. අපි ඉතිං ඔය කියන ඒවා දැන් ඒ හැටියටම පිළිගන්නේ නැහැ. අනුර කියන්නේ දේශපාලනයේ තෙම්පරාදු වෙච්ච චරිතයක්. එතුමත් ඔය කියන දේවල් දනිහෙන් උඩට ගන්නේ නැතිබව නම් විශ්වාසයි. ඒක  නිසා ඔය ගොන් උපදෙස් අපි කණ්ඩනය කරමු. මාලිමා පාක්ෂිකයන් උනත් ජනාධිපතිතුමාව උගුල් උපදෙස් වලින් ගලවා ගන්නවාට කැමති ඇති.


LKY බිහිවෙන්නේ ඕපපාතිකව නෙමෙයි. සිංගප්පූරුව මැලේසියාවෙන් ඉවත් කරනවා . 1960-70  දශකය කියන්නේ ලෝක දේශපාලනය සීතල  යුද්ධයක පැටලුන අවධියක්. බටහිර රටවල ප්‍රධාන සතුරා කොමියුනිස්ට් වාදය. පරණ සෝවියට් දේශය බලවත්. චීනය ආර්ථික අතින් දුර්වලයි. වියට්නාමය ඇමෙරිකාව සමග යුද්ධයක. ඇමෙරිකාවේ දොරකඩ කියුබාව කියලා විප්ලවීය කොමියුනිස්ට් රජයක් බිහිවෙලා. මෙහෙම වෙද්දි  සිංගප්පූරුව බිහිවෙනවා. අලුත්ම රටක්.කලින් මාළු බාන අය පැල්පත් වාඩි  අටවාගෙන ඉඳලා තියෙන්නේ. 1819 කාලයේ ඉඳලා Sir Stamford Raffles කියන සුදු ජාතිකයා වරායක් හදලා වෙළදාමට  තල්ලුවක් දුන්නා . බටහිර ජාතින් නිතර නිතර සිංගප්පූරු වරාය පාවිච්චි කරා. චීනයට වියට්නාමයට ආසන්නයි.LKY  බටහිර පිළිගන්නේ කොමියුනිස්ට් විරෝධී නායකයෙක් කියලා. ඔහු බටහිර අධ්‍යාපනය ලබපු කෙනෙක්. ඉංග්‍රීසි සහ චීන මැන්ඩරින් භාෂා හැකියාවක් ඇති අයෙක්.


LKY දේශපාලන විරුද්ධවාදීන් බහුතරයක් මර්ධනය කරේ ඔවුන් කොමියුනිස්ට්වාදයට උපකාර කරනවා කියලා. නායකයන් , වෘත්තිය සමිති සහ ශිෂ්‍යය සංගම් තමයි ඔහුගේ ඉලක්කය. නමුත් භිෂණයක් පතුරවා නොගන්න ඔහු ප්‍රවේසම්. මොකද භීෂණ උද්ගෝෂණ තුලින් ආයෝජකයන් පලායනවා. දුෂණ විරෝධී සටනේදී ඔහු තමන්ගේම සගයන්ව ඉවත් කරනවා. මේ දෙක දෙකක්. එහිදීත් ඔහු ආයෝජක විශ්වාසය දිනාගන්නවා.


කොමියුනිස්ට්වාදය සහ එහි බලපෑම් ටිකින් ටික බොඳ වෙද්දී සිංගප්පූරුව වෙනම ආකෘතියකට මාරුවෙනවා. ඒක තමා බොරු කීම තහනම් කිරීම.(ඒක එච්චරම සරල නැහැ) defamation law  යටතේ විරුද්ධ පක්ෂ බංකොලොත් කරන්න LKY ට පුළුවන් වුනා. මේ ආකෘතියත් සිංගප්පුරුවට ගැටළුවක් ඇති කරේ නැහැ. මානව හිමිකම් ආයතන සහ බටහිර රාජ්‍යන් මේ වෙනකොට LKY  සහ සිංගප්පූරුව තමන්ගේ  හිතවත් රාජ්‍යක් බවට හඳුනාගෙන අවසන්.


මේ මර්ධනය දැන් කරන්න බැහැ  . LKY  පැහැදිලිවම කියනවා සිංගප්පූරුව  කියන්නේ එකම strategy එක භාවිතා කරන රටක් නෙමයි කියලා. ඔවුන් පරිනාමය වෙනවා. විශේෂයෙන් භූ දේශපාලනය ගැන ඉවක් තියනවා. සිංගප්පූරුව  වර්තමානයේ චීනයත් එක්ක ගනුදෙනුකරන ආකාරය බැලුවහම ඒක 1960 ට වඩා අතිශයින්ම වෙනස්. සිංගප්පූරුව තුල වර්තමානයේ විපක්ෂයට යම් තැනක් තියනවා.ඔවුන් පවතින රජය විවේචනය කරනවා. එහෙම කියලා ඔවුන් හිරේ විලංගුවේ දාන්නේ නැහැ. බොරු කියන්න බැහැ. ලංකාවේ මලිමාවට බොරු කියන අයව හිරේ දාන එක සදාචාරාත්මකව ටිකක් අමාරුයි. වංචා දුෂණ වලට ඒක කරන්න පුළුවනි. 






ඉහත පෝස්ටරය මම හැදුවේ ඉතිහාසය copy paste කරලා ගන්න බැරිබව පෙන්නන්න. එහෙම උපදෙස් දෙන කව්රුහරි ඉන්නවනම් ඒක  අනුර කුමාර ජනාධිපතිවරයාට කරන අවැඩක්.

ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී මිනුම්දඬු දැන් වෙනස් . කොමියුනිස්ට් කියන එක ලෝකයේ අනිත් රටවල් ලොකුවට තර්ජනයක් ලෙස සලකන්නේ නැහැ. එහෙම වුනානම් ලංකාවේ මේ ආණ්ඩුපෙරලියට ඉඩක් නැහැ.ඒ හැමටම වැඩියෙන් මාධ්‍ය දියුණුයි. මාධ්‍ය, සමාජ මාධ්‍ය මර්ධනය කරන ආණ්ඩුවලට 1960 පැවැත්මක් තිබ්බට දැන් පැවැත්මක් නැහැ. මිනිස්සු සමාජීය වගේම පුද්ගලික නිදහසත් අගය කරනවා. ඔවුන් හිතන්නේ 1960 අපේ පැරණි අය  හිතුව විදිහට නෙමෙයි. ලෝකය විශාල වශයෙන් සම්බන්දයි. බලය ලබාගැනීම බලය පවත්වාගැනීම කියන කරනා දෙකේදීම ප්‍රවේසම් සහගත ක්‍රියා මාර්ග අනුගමනය කරන්න ඕනේ. 

LKY  සිංගප්පූරුව දියුණු කරේ හුදෙක් මර්ධනයකින් නොවෙයි. විරුධවාදීන් අල්ලලා හිරේ දැම්මහම රටක් දියුණු වෙනවනම් ඉස්සෙල්ලම දියුණුවෙන්න ඕනේ උතුරු කොරියාව. LKY  දර්ශනය (vision ) ඉතා බලවත්. ඔහුට හිටිය team එක සුපිරියි. ඔහුගේ නායක ගුණාංග විශිෂ්ටයි. ඉතින් කාට හරි අනුර මහත්තයට උපදෙස් දෙන්න ඕනේ නම් ඔය කියන ගුණාංග වර්ධනය කරගන්න කියන්න. එතුමාව බොරු වලවල් වල දන්නේ නැතුව. අපිට ඉතින් පුළුවන් නිහඬවම මේවගේ ලිපියක් ලියලා ටිකක් වෙනස් විදිහට හිතන්න පුරුදු කරන්න

Monday, December 1, 2025

ආපදාවේ පශ්චාත් කළමනාකරණය

 ට්සුනාමිය 



2004 දෙසැම්බර් 26 මමත් මගේ පෙම්වතියත් විවාහ උත්සවයට සුදානම්වෙනවා. අපිට තිබුනේ සුදුපාට ටොයෝටා dx වැගන් රථයක්. අපි ඒකෙන්  නුවර ටවුමට එනවා අවශ්‍ය කරන බඩු භාණ්ඩ හොයාගෙන. ඔන්න tv එකේ යනවා මුහුද ගොඩගලනවා කියලා. අපි මුලින් හිතුවේ වඩදිය බාදිය වගේ ඔය මොකක්හරි කියලා. ටික වෙලාවකින් තේරුණා වැඩේ බරපතල බව.

මේක කොහොමද වුනේ? මේකට කියන්නේ Tsunami.ඒක ජපන් වචනයක්.තවත්  ටික වෙලාවකින් තමයි දන්නේ "'t"' silent. අපිට internet තිබුනේ නැහැ. රුපවාහිනියෙන්ම තමා විස්තරේ දැනගත්තේ. කොටින්ම කිව්වොත් මුළු ලංකාවම එක පාරට ඉගෙනගන්නවා.

දැන් මම 2004 ලිට්මස් පරීක්ෂණයක් කරනවා . ඒකාලේ තිබුන ආණ්ඩු එකෙන් සමත්ද?. කාට හරි කියන්න පුළුවන් helping හම්බන්තොට කියලා දුෂණයක් කරා කියලා. ඔව් මේ තරම් දුෂණ තියාගෙන අකටයුතුකම් තියාගෙන ඒ ගොල්ල කරේ මොනවද. ඒකොහොමද ?  

නිවාස 100000 ආසන්න ප්‍රමාණයක් විනාශවිය 44000 පමණ අර්ධ වශයෙන් විනාශවිය. මුලින්ම තාවකාලික වාසස්ථාන වල පදින්චිකල ඔවුන්. 2008 පමනවනවිට නිවාස සාදා පදිංචිවිය.

රෝහල් 100 පමණ විනාශ විය. බහුතරයක් 2006- 2007 වනවිට සාදා නිමවිය.

මාර්ග මහාමාර්ග  කිමි 800 පමණද ප්‍රාදේශීය මාර්ග කිමි 1500 පමණද විනාශ විය. 2005 2007 වනවිට බොහොමයක් සදා නිමවිය.

දකුණු දුම්රිය මග බොහොමයක් විනාශ  වූ අතර  2005 යම්දුරකටද 2006 සම්පුර්ණයෙන්ද  සදා නිම විය.

ජලය විදුලිය මේ ආකාරයටම ඉක්මනින් යථා  තත්වයට පත්විය.

මරණ සංඛ්‍යාව  40000 පමණ විය. 

තුවාල කරුවන් 21000 පමණ විය.

අමතක කරන්න එපා උතුරේත් කරදර වුණා. ඒවටත් ආධාර ආවා . ත්‍රස්තවාදී කල්ලියක් එක්ක සහයෝගෙන් වැඩ කරලා. 2007 වෙනකොට යුදෙකුත් පටන් ගත්තා.

කලාපයේ විනාශයට සාපේක්ෂව වේගයෙන් යථා තත්වයට පත්වුන රට බවට ලංකාව කියන්න පුළුවන්.





2009



මේ වෙනකොට මම යුද්ධයෙන් තුවාල වුන අයට ප්‍රතිකාර කරනවා. 2009 සරත් ෆොන්සේකා මහත්මයා ඇතුළු රණවිරුවන් දිවිහිමියෙන් යුද්දේ ඉවරකරා. ඊට පස්සේ අපි හැමෝම නිවන් සුව ප්‍රර්ථනා කරපු නාකි මයිනා රට බාරගත්තා, අධිවේගී මාර්ග විදුලි බලාගාර නෙලුම් පොකුනු නෙලුම් කුළුණු මිනිස්සු එන්නේ නැති වරායවල් ගුවන් තොටුපොළවල් හදලා දකුණේ පිස්සු කරානේ.අපිව ණය උගුලක හිර කරානේ. ඒක අපි හැමෝම දන්නා දේ.

නමුත් පශ්චාත් ව්‍යසනයේ නියම ප්‍රතිසංස්කරන අපේ මනසේ නැහැ. මැකිලද ? එහෙම නැතිනම් කව්රුහරි delete කරාද මන්ද. IDP ඒ කියන්නේ අවතැන්වුවන් ලක්ෂ ගණනක් 2012 වෙනකොට පදිංචිකරලා. අවසන් අවතැන් කඳවුරත් වැහුව 2012. භාරවුණ ත්‍රස්තවාදී සාමාජිකයන් ළමා සොල්දාදුවන් 600 පමණ සහ වැඩිහිටියන් 11500 පමණ  පුන්රුතාපනය කරලා සමාජයට මුදාහරිනවා 2015 වෙනකොට. පාරවල් උතුරු නැගෙනහිර පමණක් කම් කි මි 2000 කට වැඩියි. සම්පුර්ණ උතුරු දුම්රිය මාර්ගය 2015 වෙනකොට හැදුවා. බිම්බෝම්බ 87% ප්‍රදේශයක් clear කරලා ඉවරයි.  උතුරු නැගෙනහිර විදුලිය සහ පානීය ජල අවශ්‍යතාවයන්  ඉටුකරා (මුළු ලංකාවම 90% විදුලි අවශ්‍යතාව සම්පුර්ණ වුනා  2015 ). රෝහල් ඉදිවුනා. එන්නත්කරණය අරම්භවුනා. මේ දේවල් වුනේ ඉන්දියානු ආධාර NGO  ආධාර කළමනාකරණය කරලා. බැසිල් 10% කොමිස් ගත්තා.

ඇයි නාකි මයිනා මේවාට credit  එක ගන්නේ නැත්තේ.? ඕවට ලකුණු දාගත්තා කියලා වැඩක් නැහැ.මයිනගේ පරම්පරාවේ ගැවිච්ච එකෙකුටවත් උතුරු නැගෙනගිර චන්ද පරම්පරගනනකට හම්බවෙන්නේ නැහැ කියලා දන්නවා. හැබැයි වැඩේ කෙරුණා.

ඔය උඩ කියපු හැමදේම වුනේ නකිමයිනාත් නුගත් දේශපාලක හැත්ත බුරුත්තකුත් විශාල හමුදාවකුත් නඩත්තු කරනගමන්. දුෂණය වංචාව ඉහලින්ම තියනකොට.



2025



ලංකාවට පහුගිය සතියේ කරදරයක් වුනා. මමත් ඉතින් හැකිපමණින් විවිධ ආධාර කරා. මේකේ මියගිය ගණන හරියටම අපි දන්නේ නැහැ. 1000කට අඩුයි. 

අපිට ඉන්නේ උගත් බුද්ධිමත් ජනාධිපතිතුමෙක් සහ ඇමති මණ්ඩලයක්. දුෂණය කොමිස් ගැහිලි නැති ආණ්ඩුවක්. ඉතින් මේ වගේ ස්වාභාවික ව්‍යසනයකින් පස්සේ රට ඉතා ඉක්මනින් යථා  තත්වයට පත්වේවි කියන බලාපොරොත්තුව අපිට තියනවා. මේකෙදි යම් නිර්ණායකයන් ටිකක් දීලා බලාගෙන ඉම්මු. අපිත් උදව් කරමු. අසාධාරණ වෙන්න එපා, කාලය දෙන්න මාස 6ක් ? අවුරුද්දක් ? ඇති නේද ? උදව් කරන්න.කුහක නොවී, කකුලෙන් අදින්නේ නැතුව. නුවරඑලිය පාර හැදෙනහැටි බලමු.  පාලම් හදන හැටි බලමු. මාවිල් ආරු බැම්ම් බදින්න උදව්වෙමු. ගෙවල් හදලා අවතැන්වුණු ටිකදෙනා පදිංචි කරමු. කලබල වෙන්න එපා.ලිට්මස් දාන්නේ ඊට පස්සේ. 


මෙහෙම ඉන්න අතරේ සමාජ මාධ්‍ය කළඹමින් පොඩි හීනියට ප්‍රචාරත් යනවා. 

1. ගංවතුරෙන් දේශපාලනය කරන්න එපා.

2. විපක්ෂ කණ්ඩායම් වාසි බලාගෙන ගං වතුරෙන් මිනිස්සු බිල්ලට දෙනවා.

3. ආණ්ඩුවට කරන චෝදනා පදනම් විරහිතයි. මේක ස්වභාවික ආපදාවක්. මේවා වලක්වගන්න කාටවත් බැහැ. ආණ්ඩුවට උදව් කරන්න.(කාලගුණ ලොක්කගේ බෙල්ල බේරුනොත් ඇති)

4. මේක මහා ව්‍යසනයක් අපි එකාවගේ නැගිටලා ගොඩ එමු. 

දැන් වෙනදා නැති මෙහෙම ප්‍රචාරයක් එකපාරටම එලියට පනින්න බැහැ. ගොඩක් අය කතාවෙලා වගේ video, face book පොස්ට් දාන්න පටන් ගත්තා. වෙනදා එන්නේ උදව් කරන උදව් ඉල්ලන පොස්ට්. මේ පාර ඒක වෙනස්. වෙනදාටත් කරදර වුනහම ආණ්ඩුවට අභියෝග කරනවා. උපදෙස් දෙනවා. වැරදි කියනවා. එහෙම නෙමෙයි මෙහෙමයි කියනවා. විද්‍යාත්මකව මේක වෙන්නේ මෙහෙමයි වගේ විග්‍රහ බොහොමයි. මෙදාපාර වෙනස්, විග්‍රහ වලට බනිනවා. 

මම නම් දැක්කේ නැහැ කව්රුත් කකුලෙන් අදිනවාවත් , සල්ලි එවන්න එපා කියනවාවත් , අනපනත් සම්මත කරගන්න එපා කියනවාවත්. හැබැයි විපක්ෂ ක්‍රියාකාරිනුත් බිමට බැහැල හරිහරියට වැඩ. කෑම උයනවා. ආධාර බෙදනවා. ඉස්සරත් එහෙම තමා. සුජීව සේනසිංහ කෙසෙල් ගෙඩියේ නම ගහලත් බෙදුවා. ඉතිං ඕකද මේ දේශපාලනය කරන්න එපා කියලා වැලපෙන්නේ. 

අනෙක් අතට මේක පොඩි දෙයක් හැටියට මුලින් බෞතිස්ම කරලා, එකපාරටම මහා ව්‍යසනයක් විදිහටත් පින්තාරු කරන්න පටන් ගත්තා. 

ව්‍යසන වල ලොකුද පොඩිද කියලා දැනෙන්නේ එළියේ ඉන්න අයට. වින්දිතයට ඒක ව්‍යසනයක්ම තමයි. සයිස් එක කියන්න බැහැ. 

මගේ තේරුමේ හැටියට මේ හැමෝවම එකම ආකාරයකට මෙහෙයවනවා. මනෝමුලික මෙහෙයුම්.ඔය කොයි මොළ හෝදන මෙහෙයුමේත් ඉත්තෙක් නොවෙන්න අපි වග බලාගන්න ඕනේ.

සාපේක්ෂව බැලුවොත් බොරු ප්‍රචාර අඩුයි. AI  edit කරපු video පවා අඩුයි.මිනිස්සු ස්වයංවාරණයක් දාගෙනද එහෙම නැතිනම් fake news බලකා ගං වතුරට අහුවෙලාද ? බොහොමයක් මිනිස්සු වගකිවයුතු මාධ්‍ය විදිහට දෙරණ වගේ නාලිකාවන් වටේ හිටියේ. පිටරටවල නම් වැඩිය ලොකු ප්‍රචාරයක් ගියේ නැහැ.ඇත්තටම ඉන්දුනීසියාව තායිලන්තය මැලේසියාව කියන රටවලත් එකවර සුලිකුනාටු බලපෑවා. ඒවායින් ලංකාව වැහිලා ගියා. ආණ්ඩුව උත්සහ කරේ නැතිනම් ලොකු ආධාරයක් එයි කියලා හිතන්න බැහැ.


අපි වෙනුවෙන් අපි කියලා හිතලා නිහඬවම වැඩ කරමු.

(පිංතුර අන්තර්ජාලයෙන් හොයාගත්තුවා)