ප්‍රොතෙස්තන්ත බුද්ධාගම

“මාලිනි ෆොන්සේකා සිනමාවට ප්‍රවේශ වන්නේ ලාංකේය පශ්චාත් යටත් විජිත සමාජය ප්‍රොතෙස්තන්ත බුද්ධාගමත්, වික්ටෝරියානු ආචාර්යධාර්මිකත්වයත්, සමාජ සංස්ථිතියේ අඩි තාලම ලෙස පැවැති මොහොතකය. මෙවන් මොහොතක සිනමාව අර්ථ ගන්වා ගනු ලැබුවේ කලාත්මක ප්‍රකාශනයක් ලෙස නොව, පවතින ආචාරධර්මවලට ප්‍රතිපක්ෂ, සමාජ වටිනාකම් සෝදාපාලුවට ලක් කරන අවර ගනයේ භාවිතයක් ලෙසයි.”
ඔන්න ඔහොම තමයි මහාචාර්ය සෞම්‍ය ලියනගේ කථාව පටන් ගත්තේ. මාලනී ෆොන්සේකාගේ අවමංගල්‍ය උළෙලේ. ඒක ගැන දැන් නොයෙකුත් වාද විවාද යනවා.එත් මේ ලියමන එතුමා ගැනවත් කතාව ගැනවත් නෙමෙයි. අපි හොයල බලමු මොකද්ද මේ ප්‍රොතෙස්තන්ත බුද්ධාගම කියන්නේ කියලා.
අපි ප්‍රොතෙස්තන්ත ආගම කියලා කියන්නේ ක්‍රිස්තියානි ආගමේ කොටසකට ඒ වුණාට එහෙම බුද්ධාගමකුත් තියනවලු.ඒක සමාජයේ අඩිතාලම වෙලත් තිබුනාලු. ඒක හින්දම සිංහල සිනමාවට කුඩම්මාගේ සැළකිල්ල ලැබුනා වගේ එකක් කියවුනාද මන්දා . කොහොමටත් මහාචාර්යතුමාගේ කථාව තේරුම් ගන්න නම් ටිකක් අමාරුයි.
මේ ප්‍රොතෙස්තන්ත කියන වචනය බුද්ධාගමට පුට්ටු කරන්නේ බටහිර උගතෙක් වුනු මහාචාර්ය ගණනාත් ඔබේසේකර. එතුමාගේ දෘෂ්ටිවාදයට අනුව පශ්චාත් යටත් විජිත සමයේ බුද්ධාගමට එකතුවුණු ලක්ෂණ වලට තමයි මේ නම දුන්නේ.
Protestantism එන්නේ protest කියන වචනයෙන්. 1517 මාර්ටින් ලුතර් වර්තමානයේ ජර්මනිය නමින් හදුන්වන කලාපයේදී 95 Theses කියලා ලියවිල්ලක් කතෝලික පල්ලියේ දොරේ ඇණයකින් සවිකරනවා . මේ ලියවිල්ල වාද විවාද වලට මුහුණ දීලා කතෝලික පල්ලියටත් පාප් වහන්සේටත් විරුද්ධ මතවාදී කණ්ඩායමක් නිර්මාණය වෙනවා.

දක්ෂ ප්‍රතිසංස්කරණ වාදියෙක් වන මේ මාර්ටින් ලුතර් දැඩි යුදෙව් විරෝදියෙක් අන් මත නොඉවසන පුද්ගලයෙක් බවට පත්වෙනවා.
කොහොම හරි මේ මතවාද පැතිරිලා මාර්ටින් ලුතර් රෝමානු කතෝලික පල්ලියෙන් දොට්ට දානවා. ලුතර් වෙනම නිකායක් බිහිකරනවා. එහි පාප් වහන්සේ පිළිගන්නේ නෑ . බයිබලය තමයි උත්තම. අවශ්‍ය වන්නේ භක්තියෙන් හා විශ්වාසයෙන් දෙවියන් ඇදහිම. ගැලවුම් සඳහා සම්ප්‍රදායක පල්ලියේ පව් සමාකිරීමක් අවශ්‍ය නැහැ.පස්සේ පුජකයන්ට විවාහවිමටත් අවසර ලැබුනා. මාර්ටින් ලුතර් විවාහ වෙනවා.
මේ ප්‍රතිසංස්කරණය පුර්වාදර්ශයට ගෙන තමයි අනිකුත් නිකායන් කැඩෙන්නේ . ඇන්ග්ලිකන් පල්ලි ඇතුළු විවිධ අතුඉති විහිදී යනවා රෝමානු කතෝලික පල්ලියට විරුද්ධව. ඔය සියල්ලටම යොදන පදය තමා Protestant කියන්නේ.
මහාචාර්ය ගණනාත් ඔබේසේකර (Gananath Obeyesekere 2 February 1930 – 25 March 2025) කියන්නේ ලාංකික උගතෙක්.ඇමෙරිකානු Princeton සරසවියේ මානව විද්‍යා මහාචාර්යවරයා. ඔහු ඇතැම් බටහිර මතවාද අභියෝගයකට ලක් කරනවා. ඔහු තමයි මේ protestant කියන වචනය යොදාගෙන පශ්චාත් යටත්විජිත බෞද්ධ පුනරුදය විස්තර කරන්නේ. එහෙම නැතුව ක්‍රිස්තියානි ආගමේ වගේ වෙනම නිකායක් හැදෙන්නේ නෑ

ඔහු කියන මේ කාල වකවානුවේ ලංකාවේ පුනරුදයකට මග කියන්නේ ධර්මපාල තුමා Henry Olcott මැතිතුමා Blavatsky මැතිනිය ඇතුළු අය. 1800 -1900 කාලයේදී මිෂනාරි ආගම් ලංකාව ආක්‍රමණයක් කරනවා. මිෂනාරි ආගම් ලාංකීය බුද්ධාගම ගස් ගල් වදින ප්‍රාථමික දහමක් ලෙස පහත් කොට ප්‍රචාරයක් යවනවා. ක්‍රිස්තියානි දහමට ඇදී එන්නන් බුද්ධිමත් ලෙසට පෙන්නන්ඩ තමයි මේ කරන්නේ.ඒක පාරා වළල්ලක් වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ . පානදුරා වාදය එහි ප්‍රථිපලයක් . මෙහි ප්‍රථිපලයක් ලෙස විවිධ අය බුද්ධාගම දර්ශනයක් ලෙස ඉස්මතුකරගන්න බැලුවා. එහි නායකත්වය ගන්නේ ඉහත කී ගිහියන්. ඔවුන් බෞද්ධ අධ්‍යාපනය වෙනස් කරනවා. ඒකට බටහිර මොඩල් එකක් ගේනවා. ක්‍රිස්තියානි ආගම ඒක දේවවාදී සදාචාරාත්මක නීතිරීති වලින් හැදුන ආගමක්.
අනිත් පැහැදිලිම කාරණය තමා සම්ප්‍රදායක බෞද්ධ සමාජයත් Olcott තුමා ධර්මපාලතුමා සහ අනෙකුත් බෞද්ධ භික්ෂුන් අතර යම් මතවාදමය වෙනස්කම් තිබුණා විශේෂයෙන් පුදපුජා විදි ගැන එහෙම. නමුත් මහා වාදයක් විවාදයක් පැන නැගුනේ නැහැ.. ඒ කියන්නේ protest එකක් නෑ. තිබුන වාද විවාද ගැටුම් තිබුනේ ආක්‍රමණශීලි අනෙකුත් ආගම් සමග.
ඔය ආකාරයෙන් බලපුවහම ඇත්තටම ඔය කියන කාල වකවානුවේ ඇතිවුන බෞද්ධ නැගිටීමට ප්‍රොතෙස්තන්ත කියලා කියන එකම වැරදි. බොහෝ උගතුන් මේ කාලයට ඔය නම කියනවට විරුද්ධයි. යටත්විජිතවාදී බෞද්ධ පුනරුදසමය තමයි හරිම වචනය.
ඒ වුනත් ඉතින් පශ්චාත් නුතනවාදී නිරාගමික තරුණයා මේ “ප්‍රොතෙස්තන්ත ” බුදු දහම කියල නැති දහම කට උල් කරලා කියන්න ආසයි. මාලනී ෆොන්සේකාට ඔය කියන බෞද්ධ ආගමිකයගෙන් එල්ලවෙච්ච අභියෝගය මොකද්ද කියලා හොයලා අපේ රැඩිකල් මහාචාර්ය තුමාට තවත් ආචාර්ය උපාධියක් කරන්න පුළුවන්. එතුමා එහෙම කරලා පොතක් ලියනකන් අපි නිහඬවම බලාගෙන ඉමු.
No comments:
Post a Comment