Saturday, November 15, 2025

සත්‍ය මිත්‍යාව ජලය සහ සතුට

 


අටෝරාසියක් කරුණු  අතරින් පහුගිය සතියට මට ඕන වෙච්ච දැනුම අතරේ බෞද්ධ දර්ශනය, වෛද්‍ය විද්‍යාව, කිතුල් පැණි, SSD card එක මාරු කරන හැටි, මෝටර් රථයේ සුළු දෝෂයක් හදාගන්න හැටි තිබුණා. ඕවා ඔක්කොම මතකයේ දරාගෙන ජීවත්වෙන්න, සමහර ඒවා කටපාඩමින් දැනගැනීම වැඩක් නැහැ. පොතක් බැලුවත් ඔය ප්‍රශ්නවලට උත්තර හොයන්න පුස්තකාලයක් මදිඔයවගේ ප්‍රශ්න ගොඩක් විසඳන්න දැනුම හොයන එක දැන් සරල වැඩක්. මම AI යුගයකට කැමති දැනුම කියන සංකල්පය AI බාරදීලා විචාර බුද්ධිය මිනිහට ඉතුරුවෙයි කියලා හිතෙන හින්ද.

 මොලේ තියන දැනුම් මතක ගබඩාව දැන් එළියේ. පොතක් නම් යම් වගකීමක් තියනවා. අන්තර්ජාල ගබඩාවේ මිථ්‍යාව වපුරලා තියෙන්නේ. නීති දාලා නීති හදලා මේක නවත්තන්න පුලුවනිද කියල මම දන්නේ නැහැ. නමුත් මිනිහා විචාර බුද්ධිය ඉතුරු කරගත්තොත් මේ කියන බොරුවෙන් ගැලවෙන්න පුළුවන්. ඔය විචාර බුද්ධිය කියන දේ මම වගේ සිල්ලර මිනිහෙකුටත් වර්ධනය කරගන්න ලෙහෙසියි. හෙන සිරා සංකල්පයක් නෙමෙයි.විචාර බුද්ධිය තිබ්බටම බැහැනේ. Facts  & figures  හොයන්නත් ඕනෙනේ. ඔන්න ඔතනදි තමයි අනාගතයේ AI  උදව්වෙන්නේ. AI  කියනදේ මම විශ්වාසයට ගන්නේ නැහැ. මැදහත්ව කරුණු හොයල තීරණයක් ගන්න පුළුවනි.

 සෙනසුරාදා ඉරිදා අලස සුවයෙන් ගෙදර ඉන්නකොට මට හිතුනා  අපි අතර පැතිරිලා තියන මතවාද  එක්ක ටිකක් ගැටෙන්න. ඔය මත එක්ක ගැටුනා කියලා  මට ලැබෙන දෙයක් නම් නැහැ. අනික් අතට මම ගත්ත උදාහරණ වලින් ඒවා ගැන තිබ්බ මතය බොරුය කියලා ඔප්පු කරගන්න බැහැ  හැබැයි ජනප්‍රිය, ඔළුවලට  කාවද්දල තියන මත ගැන කුකුසක් ඇතිකරනවා. අනාගතයේ ඔහොම දෙයක් පැතිරුනොත් විසඳන්න ක්‍රමයක් සකස්වෙනවා.AI යුගයක වුනත් හංසයා දියෙන් කිරි වෙන්කරනවා වගේ කරගන්න පුළුවනි.



 ජලය

 2013 දී  ගම්පහ දිස්ත්‍රික්කයට අයත් රතුපස්වල මරණ 3 කින් කෙලවර වුන ඛේදවාචකයක් වුනා.මුලික වුනේ රතුපස්වල පිහිටලා තිබුන අත්වැසුම් හදන කම්හලකින් මුදාහරින ජලය නිසා ප්‍රදේශයේ ජල දුෂණයක් සිදුවෙනවා කියල පැතිර ගිය මතයක්. මේ මතය හරිද වැරදිද කියලා තර්කනුකුලව හොයන එක හරි ලේසියි. නමුත් සිද්ධීන් හරියටම වුනේ නැහැ. මිනිස්සු හැසිරුනේ වෙනස් විදිහකට.බලධාරීන් කඩිනමින් මේ මතය හරිද වැරදිද කියන එක බලන්න පියවර ගත්තෙත් නැහැ . ගම්මු හිටියේ කම්හල නිසාම ජලය ඇසිඩ් වුනා කියන මතයේ. බලධාරීන් (රජය කම්හල සහ නිලධාරින්) හිටියේ එහෙම නෙවෙයි වගේ මතයක . අදහස් දෙක ධ්‍රැවීය අන්ත දෙකකට ගියා. ගම්මු අතර මතයක් හැදුනා (හෝ හැදුවා) බලපුළුවන්කාර කම්හල් සහ ධනපතීන් ආණ්ඩුව නටවනවා කියල. අන්තිමට නුවර පාර අවහිරකරලා ලොකු උද්ගෝෂණයක්.කෙළවර මරණ. කම්හල ගලවලා ගියා. ගම්මු සමහරකට රස්සාව නැතිව ගියා. මරණ ටික දවසක් විකුණගෙන දේශපාලනය කරගෙන ගිය පිරිස විසිරුණා. නඩුවක් ගියා ඒකෙ තීන්දුව හොයලා බලන්න. තීන්දුව දුන්නේ 2024.

 රතුපස්වල කියන නම ඇහෙනකොටම එහි පාංශු පිළිබඳව අදහසක් අත්වෙනවා. ජල පරීක්ෂණ කරා, කම්හලෙන් ඉවතට දමන වතුරේ pH  අගය මැන්න  අවට ප්‍රදේශයේ ජල සාම්පල  pH අගය මැන්න . කම්හලට ඈතින් තියන ප්‍රදේශවලත් pH  අගය මැන්න. අවුරුදු දහයකට පස්සේ නැවත පරීක්ෂණයක් කරා. පරීක්ෂණ වාර්තා තියනවා.

 ඒවායේ කියවෙන දේ සාරාංශ ගතව මෙහෙමයි.

1.2013–2015 නිරීක්ෂණයෙන් හෙළි වූයේ අසල ඇති ප්‍රජා ළිංවල 3.6–5.9 සහ කර්මාන්තශාලා ළිං තුළ 5.2–6.8 අතර ළිංවල pH මට්ටම් ඇති බවයි (රත්නායක සහ වෙනත් අය, 2016).

2. 2018 අධ්‍යයනයකින් හෙළි වූයේ සමහර ළිං රසායනිකව ආරක්ෂිත පරාසයන් තුළ තිබියදී පවා බිය පවතින බවයි, එය මාධ්‍ය සහ සමාජ හිතළු මහජන විශ්වාසයට ඇති බලපෑම පෙන්නුම් කරනවා. (බුලත්සිංහල සහ තෝරදෙණිය, 2018).

3.2024 භූ විද්‍යාත්මක අධ්‍යයනයෙන් ඉස්මතු කළේ ස්වාභාවික භූ විද්‍යාත්මක සාධක, විශේෂයෙන් ලැටරයිට් සහ පීට් ජලධර, රතුපස්වල භූගත ජලයේ අඩු pH අගයට දැඩි ලෙස බලපාන අතර, කාර්මික අපජලය සමහර ප්‍රාදේශීය ප්‍රදේශවල දායක වී තිබිය හැකි බවයි (පතිරගේ සහ වෙනත් අය, 2024).

 

Bulathsinhala, A., & Thoradeniya, R. (2018). Post ‘Rathupaswala’ Issue: Neighbouring Community Perceptions of Groundwater. Engineer: Journal of the Institution of Engineers, Sri Lanka. PDF

 

Pathirage, I., Rajapaksha, M., Bandara, D., & Fernando, S. (2024). Geogenic Pollution of Groundwater Quality in Gampaha District: A Case Study of Groundwater Acidification from Rathupaswala. International Journal of Geosciences. PDF

 

 

සතුට

 ලෝකයේ සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්නේ පින්ලන්තයේ කියලා කියනවා. මේ වගේ news  එකක් දැකපු වෙලේ ඉඳලා ලංකාවේ මිනිස්සු හුල්ලනවා

 //අනේ  රටේ මිනිස්සු කොච්චර වාසනාවන්තද? අපේ රට කෑවේ දේශපාලුවෝ //වගේ කතා කියකියා.

වැඩිදෙනෙක් හොයන්නේ නැහැ සතුට මනින විදිහ. අදායම නම් මනින්න පුළුවන්.

 The World Happiness Report , published by the UN Sustainable Development Solutions Network.

මේකෙදි අහන ප්‍රශ්නය Cantril Ladder කියලා හඳුන්වන්නේ.

 ප්‍රශ්නය තමයි ""0 (හැකි තරම් නරක ජීවිතය) සිට 10 (හැකි තරම් හොඳ ජීවිතය) දක්වා ඉණිමඟක් (Ladder) සිතන්න. අද ඔබ පෞද්ගලිකව සිටින්නේ කුමන පියවරකද?""

(worldhappiness.report/methodology)

 සෑම රටකම අවම වශයෙන් 1000 නියැදියක් ලබාගන්නවා. ඒක අරගෙන rank  කරනවා.

 Rank  කරන්න ඍජුවම අදාළ කරගන්නේ නැතිවුනත් අතුරු ප්‍රශ්ණ ටිකකුත් අහනවා. මේ ඔක්කොම සමාජීය සෞඛ්‍ය ප්‍රශ්ණ.

 ඔය ප්‍රශ්නයට ලැබෙන උත්තරය සංස්කෘතික ලෙස වෙනස් වෙනවා. ෆින්ලන්ත වැසියෙක් I am fine / Good  day වගේ වචන නිතර කිව්වත් ලාංකිකයෝ ඔහේ ඉන්නවා / වරදක් නැහැ කියලා තමයි කොහොමද කියලා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නේ.

අනිත් ප්‍රශ්න අතර තියනවා charity සහ volunteering  ගැනත් ලංකාවේ හැමෝම දාන මාන කරනවා. පින් බලාගෙන හරි. එහෙම නැතත් දුගී මගී යාචකයින්ට දෙනවා . ඒක charity කියලා වාචිකව කියන්නේ නැහැ Volunteering  කියන එකත් එහෙමයි. සංකල්ප අපේ වෙනස්.  

බලපුවහම මේ සමීක්ෂණයෙන් පුද්ගලයෙක් කොතරම් සතුටින් ඉන්නවද කියලා හිතා ගන්න බැහැ.

පින්ලන්තය ගැන අපේ බ්ලොග් ප්‍රවීනයෙක් වෙන අජිත් ධර්මා ලිපි පෙළක් ලියනවා. සුන්දර රටක්. ටිකක් දරුණු ශීත ඍතුවක් තියෙන්නේ. දිවිනසගැනීම් අනෙකුත් යුරෝපියන්ට වඩා වැඩයි. මානසික අවපිඩනයත් ඉහළයි මත්පැනට ඇබ්බැහිවීම අතින් ලෝකයේ ඉහලින් ඉන්නේ, මේ වගේ රටක මිනිස්සු  සතුටින්?

 ඔය වගේ ප්‍රශ්න වලට ලෝකයේ අනිත් රටවල ඉන්න හිතන අය සැකයක් ඇතිකරගන්න නිසාම WHR එක ඒගොල්ලන්ගෙම පිටුවෙන් උත්තරත් දෙනවා. මටනම් හිතෙන්නෙම මේ සතුටේ දර්ශකයේ නම වෙනස් වෙන්න ඕනේ.

https://www.worldhappiness.report/faq/?utm_source

 

ඒක  නිසා මේ වගේ ප්‍රවෘත්ති වලට කලබල වෙලා තමන් ඉන්න රට ගැන අවතක්සේරුවක් ඇතිකරගන්න එපා.තමන් ගැනම අවතක්සේරුවකින් ගමනක් යන්න බැහැ. පින්ලන්තය වගේ රටක දෙවෙනි පෙළ පුරවැසියෙක් වශයෙන් ඉහළ රැකියාවක් නොකරන කෙනෙකුට සතුටක් ලැබෙන්නේ නැහැ.

 මේ වගේ තව තව මිත්‍යාවන් තියනවා ලෝක මට්ටමේ වගේම ලංකාවෙත්. සමහරවිට බොරු බව දැනගෙනම තමන්ගේ මතවාදයට බොරුව අනියමින් රුකුලක් වෙන නිසාම සද්ද නැතුව ඉන්න පුළුවන්. ශ්‍රී ලංකන්  ගුවන් සමාගම  Emirates සමාගම යටතේ ලාභයක් ලැබුවා කියන ජනප්‍රිය මතයත් ඔයවගේම එකක් වගෙයි මට හිතෙන්නේ තව කරුණු ටිකක් හොයලබලන්න ඕනේ.

 


 ලංකාවේ උගත් දේශපාලකයෝ මිත්‍යාව හා බොරුව ගැන දරන්නේ මෙහෙම අදහසක්.

 "ඇත්ත නම් පාර්ලිමේන්තුවේදී කියන්නෙ නෑ බොරු නම් පාර්ලිමේන්තුවේ කියනවා" - ජනපති අනුර

 ''ඔබට පූර්ණ අයිතිය තියෙනවා ඕනෑම ඇත්තකදි වුණත් එය බොරුවක් කියලා කියන්න. ඕනෑම බොරුවකදි වුණත් ඒක ඇත්තක් කියන්න අයිතිය ඔබට තිබෙනවා. '  පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි

 ඔය කියන අයට ඕනේ දෙයක් කියාගන්න දෙන්න, අපි නිහඬවම චින්තනය ප්‍රගුණ කරමු.

 

( මේකේ අලවලා තියන පින්තූර  දෙකම අපිව මුලා කරනවා හංසයෝ කිරි බොන්නේ නැහැ. WhatsApp සමූහ වල නිතර සංසරණය වන බුදුබන ඇත්තටම බුද්ධ වාක්‍ය කියලා කියන්න සාධකත් නැහැ.)

17 comments:

  1. අදහස් දෙකටම එකඟයි . ලංකාවේ තියනව හොයල බලන්නේ නැතිව රජය , කම්හල් සහ ජනතාව ඔහොම ප්‍රශ්න ඇති කරනවා . හලවත් පැත්තේ ෆිජි කම්හලටත් ඔය වගේ ප්‍රශ්නයක් ආව . මම දන්නා පළාතේ යුඇන්පී දේශපාලකයෙකුට අපි ප්‍රශ්නය ගැන හොයන්න කීව. ඇත්තම හොඳ වෙලවට ඒ මනුස්සයත් හරියට මැදිහත් වෙච්චි නිසා සමාගමත් බේරුනා . මිනිසුනුත් සතුටින් . පළාතේ රස්සාත් බේරුනා . හැබැයි හොරණ පැත්තේ ඉන්දීය සමාගමක් ආවා . ඊයම් අඅපද්‍රවය ය වතුරට එකතු කරලා මිනිසුන්ට වතුර බොන්නත් බැරි තත්වයක් ආව . දේශපාලන බලාධිකාරය සමාගම පැත්තේ . එයාලා තමා සමාගම ගෙනාවේ . නමුත් දොස්තරලා මිනිසුන්ට හැදෙන ලෙඩ කෙලින්ම ඊයම් අපද්‍රව්‍ය වලට සම්බන්ධ කලාට පස්සේ කට උත්තර නැති වුනා . සමාගම අකුලාගෙන ගියා . පස්සේ බලනකොට ඉන්දියාවේ පවා එලවපු එකක . (ඉන්දියන් සමගම )

    ReplyDelete
    Replies
    1. දේශපාලන බලාධිකාරිය වගේම නිලධාරින්, විශේෂයෙන් පරිසර අධිකාරිය මේවට ඍජුවම වගකිවයුතුයි. වර්තමානයේ වැඩ සෙමින් උනත් ටිකක් වගවිමකින් වැඩ කරන බව පේනවා.

      Delete
    2. සමාගම්ම නූනත් රජරට වකුගඩු රෝගයත්, කෘමිනාෂක අවභාවිතය නිසා කියනව නේද?

      Delete
    3. වකුගඩු රෝගයට බැරලෝහ හේතුවෙනවා. රසායනික පොහොර සහ කෘමිනාශක බලපෑමක් ඇති. වියලි කලාපයේ වතුර, කට්ට අව්වේ වැඩකරන එක, විජලනය ඔය ඔක්කොම අඩුවැඩි වශයෙන් හේතුවක් වෙනවා. අවාසනාවකට තවම direct cause එකක් හොයාගන්න නැහැ. Monsanto සමාගමේ Glyphosate නඩු වලින් මිලියන ගණනක් වන්දි ගත්ත ලියුකේමියා රෝගීන් හිටියා. කම්හල් , බහුජාතික සමාගම් සහ ගොවින් හෝ ජනතාව අතර ඇතිවන බොහෝ ගැටුම් වලදී ඇත්ත වැරදිකාරයා සමාගම් සහ කම්හල් .

      Delete
  2. ෆින්ලන්ත කතාව තඩි බොරුවක් වෙන්නේ ඒ නිර්ණායක නිසා . ඒ රටවල සමාජ සුභ සාධනය ඉතා ශක්තිමත් . අධ්‍යාපනය හොඳයි ඒ නිසා සතුටින් ඉන්න අවකාශය වැඩියි . නමුත් ශිත සමයේ රටම විෂාදය තත්වයකට යනවා .

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. මේකට සතුටු දර්ශකය නැතුව සහන දර්ශකය වගේ නමක් දැම්මොත් හරියනවා.මිනිස්සුන්ට සහනයක් දැනෙනවා දුෂණය අඩුවීමෙන් සහ සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙල නිසා. හැබැයි පුද්ගලිකව ඔවුන් සතුටින් ඉන්නවා කියන්න බැහැ .

      Delete
  3. වැඩි වේවා දැනුම පොදු ජන සමාජයේ
    පැතිරේවා මෙවැනි අදහස් වැඩි-වැඩියේ
    දුරු කරලමින් 'නොදැනුම' අප 'මුතු ඇටයේ'
    දල්වමු පහන් දැනුමැති දීපාවලියේ!

    ReplyDelete
    Replies
    1. ලොව හැම රටක ඇත එකලෙස හොඳ නරක
      ඉපදී මියෙනතුර වෙයි කොයි දේසෙත් විසුම
      දැහැමෙන් සෙමෙන් දැනගෙන එහි ගුණ අගුණ
      විමසිලි මනස දිනවයි නිවිසැනසිල්ල....

      Delete
  4. //හංසයෝ කිරි බොන්නේ නැහැ//
    මේ වගේ තව කොච්චර බොරු සමාජගත වෙලා ඇද්ද?🤔

    ReplyDelete
    Replies
    1. හංසයන්ගේ නම් කිරි ජිරණයට අවශ්‍ය එන්සයිම නැහැ.ඔයවගේ කතා බස්සන්ටත් ඇති.

      Delete
  5. AI ගැන ඇති සැකය අතීතේ පත්තර වල ගිය බොරු , පස්සේ ටීවී එකේ ගිය බොරු සහ දැන් සමාජ මාධ්‍යවල තියෙන බොරු වලට සමාන මිසක් ඊට වඩා වෙනසක් නැහැ .. විචාර බුද්ධිය හැමදාම අවශ්‍යයි ..

    AI වලින් කියන දේ වඩා විස්වාසනියයි කියලයි මගේ නම් අදහස ..

    කොහොම උනත් ඔබගේ විශ්ලේෂණ වැදගත් .. සතුට දුක කියන දේවල් මොන නිර්ණයකවලින් වලින් හරියට මනින්න බැහැ නේද ?
    හදිසියකට ලංකාවේ අල්ලපු වැටේ තියෙන පෙට්ටි කඩෙන් සිනි 500ක් අරන් තේ ටිකක් හදා ගන්න පහසුවයි , දියුණු රටක, අලුත් SUV එකක නැගල 3-4km ගිහින් වාහනේ පාක් කරලා, සුපර්මාකට් එකේ කැරකිලා ගේන සීනි 500 න් තේ හදා ගැනීමයි කියන දෙකෙන් පහසු මොකක් ද

    ReplyDelete
    Replies
    1. පැතුම්, AI වල ප්‍රශ්නය බොරුව සහ මිත්‍යාව කියන එකම නෙමෙයි.දැනටමත් Deep Fake විසින් අපේ වැදගත්ම ඉන්ද්‍රියන් දෙකක් වන ඇස (Vision ) සහ කණ ( Auditory ) රවට්ටලා ඉවරයි. ඉතා ඉක්මනින් අපේ සමස්ථ සංවේදනා ඉන්ද්‍රියම ආක්‍රමණයක් කරයි.AI හරි social media හරි මේ හැමදෙයක්ම අපේ dopamine loop එක Hijack කරලා. එතැනදී අපි කලබලයි වෙනදට වඩා. විචාර බුද්ධිය නැතුව ගිහින් හැගීම් මත තීරණ ගන්නවා. විචාර බුද්ධිය වෙනදාටත් වඩා වැඩි වැඩියෙන් අවශ්‍යයි.

      Delete
    2. ඔබ හරි සතුට සහ දුක මනින්න බැහැ. ඒක සංස්කෘතිකව වගේම පුද්ගලිකවත් වෙනස්වෙනවා. මේ ලඟදි මම කොහෙද දැක්කා ලංකාවේ මිනිස්සු ඉන්නේ chronic depression එකක කියලා, බුදු දහම නිසා. සම්පුර්ණයෙන් වැරදි අදහසක්. ඒක ලියපු මහත්තයා වැරදි තැනකින් නැට්ටෙන් අල්ලාගෙන.

      Delete
  6. https://www.thenation.com/wp-content/uploads/2021/10/IMG_Bramhall-Misinfomaton.jpg

    ReplyDelete
    Replies
    1. ආන්න පින්තුරේ, misinformation තියන්න ඕනේ තැන නියමටම ස්ථාන ගත කරලා.ඔය නපුරාත් එක්ක fight කරන්න වෙන්නේ තනි තනිවම

      Delete
  7. මට මේක කියවද්දී නිකමට හිතුන... මේ ඇත්ත දැනගන්න/ විචාර බුද්ධිය ඇති/ Correct Information වලට වැඩියම අකමැති පිරිස කවුද කියල. උත්තරය විදිහය ආවෙ රජය, මාධ්‍යය, ලොකු ව්‍යාපාර. හුම්! ඒකෙත් හැටි 😱

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත මහත්තයෝ. රජය විතරක්ම නෙමෙයි විපක්ෂයත් තමන්ගේ වාසියට ඇත්ත හංගලා බොරුව ඉස්සරහට ගේනවා. ඒවාට තමයි අපි වැඩිපුර රැවටෙන්නේ.

      Delete