Saturday, February 21, 2026

ප්‍රොමිතියස් ඔබ කොහිද?

                                   

                                          

                     Prometheus  sculpture by Nicolas-Sébastien Adam, 1762 (Louvre)

ප්‍රොමිතියස් දඬුවම් විඳින ආකාරය. (යදම් වලින් බැඳ දමා උකුස්සෙකු විසින් ඔහුගේ අක්මාව නිරන්තරයෙන් ආහාරයට ගනියි.අමරණීය නිසා අක්මාව යලියලිත් නිර්මාණය වෙයි.)


Prometheus කියන්නේ ග්‍රීක මිත්‍යා විශ්වාස වල එන චරිතයක්. Prometheus මිනිසා මැටි පිඩකින් නිර්මාණය කරන්නේ. ඉන් පස්සේ Zeus දෙවියන් රවට්ටලා ගින්දර හොරෙන් ඇරගෙන මිනිස්සුන්ට දීලා නිසාම දඬුවමක් විඳි කෙනෙක්

 2012 අවුරුද්දේ මට Prometheus හමුවුනා. චිත්‍රපටියකින්.ඒකටම ඈඳුණ  Alien - Covenant  කියන චිත්‍රපටිය හැදුනේ 2017. මේ දෙකම පහුගිය දවසක ආයෙත් බැලුවා. චිත්‍රපටි දෙකම Disney + වල තියනවා. පිටසක්වළ  ජීවීන් ගැන වගේම මිනිසාගේ ආරම්භය ගැනත් විඥානය ගැනත් මිනිසා නිර්මාණය කරන ලද කෘතීම බුද්ධිය ගැනත්  අදහස් මේ චිත්‍රපටිවල කතාවෙනවා. මේ කථා මාලාවේ අනෙකුත් Alien movies වලට වඩා හිතන්න යමක් මේ චිත්‍රපටි ද්විත්වයේ  තියනවා.

 

මේ චිත්‍රපටිවල සාරාංශය ගත්තොත් මෙහෙමයි

2093 දී, පුරාණ තරු සිතියම් ආශ්‍රයෙන් "ඉංජිනේරුවන්" නමින්  හඳුන්වන දියුණු ජීවී විශේෂයක් විසින් මිනිස්  වර්ගයා නිර්මාණය කළ බව යෝජනා වීමෙන් පසුව, Prometheus නම් ලද යානාව  LV-223 නම් චන්ද්‍රයා වෙත ගමන් කරයි. කාර්ය මණ්ඩලය බලාපොරොත්තු වූයේ මනුෂ්‍යත්වයේ උපන් ස්ථානයක් සොයා ගැනීමයි. නමුත් ඔවුන් සොයා ගන්නේ එවැනි ස්ථානයක් නොව, ජීවිතය විනාශ කිරීමටත් නැවත හැඩගැස්වීමටත් නිර්මාණය කළ කළුපැහැති  විකෘතිකාරකයක් ගබඩා කර තිබෙන ආයුධ මධ්‍යස්ථානයකි. ඔවුන් දක්නා පරිදි කළු ද්‍රව්‍ය විසින් ඔවුන්ගේම නිර්මාපකයන් වූ "ඉංජිනේරුවන්ව" විනාශ කොට දමා ඇත.එක් ඉංජිනේරුවෙක් පමණක් සුරක්ෂිතව ශිශිර නින්දක පසුවෙයි. කාල නිර්ණය අනුව විනාශය වසර දෙදහසකට පමණ පෙර ඇතිවුවක් ලෙස මිනිස් විද්‍යාඥයින් නිර්ණයවේ.

 

යානාවේ ගමන් කරන ඇන්ඩ්‍රොයිඩ් කෘතීම බුද්ධිය (ඩේවිඩ්) තම මිනිස් සොහොයුරන්ගෙන්  වෙන්ව  ක්‍රියා කරයි. ඔහු කළු රෝග කාරකය අධ්‍යයනය කිරීම සඳහා විද්‍යාඥ චාලි හොලෝවේට එය හොරෙන් ආසාදනය කරයි. මෙම අත්හදා බැලීම හොලෝවේගේ මරණයට හේතු වන අතර, ඔහු මරණයට පෙර ලිංගිකව එක්වුන තවත් විද්‍යාඥවරියක වන එලිසබෙත් ෂෝ අසාමාන්‍ය ලෙස පිටසක්වල ජීවියෙකු ගැබ් ගන්නා තත්ත්වයකට පත්වෙයි. මේ කළලය පැය කිහිපයකින් අසාමාන වර්ධනයක් පෙන්නුම් කරන විට එළිසබෙත් කළලය ශරීරයෙන් ඉවතට ඇද දමා විනාශ කරයි.

 

නින්දේ සිටින "ඉංජිනේරුවරයා" අවදිකර ඔහුගෙන් අමරණීයත්වය බලාපොරොත්තුවන සමස්ථ ව්‍යාපෘතියේ බිලියනපති Peter Weyland "ඉංජිනේරුවරයා " සම්මුඛ වීමට නොවිසිලිමත්ව පිටවේ.එහෙත් ඉංජිනේරු ජීවියා වහාම මනුෂ්‍ය වර්ගයා ප්‍රතික්ෂේප කරයි. "ඉංජිනේරුවරයාගේඅරමුණ වන්නේ පෘථිවියට ගොස් මනුෂ්‍යත්වය සම්පූර්ණයෙන් විනාශ කිරීමයි. එය වැළැක්වීමට Prometheus කාර්ය මණ්ඩලය තම ජීවිත පූජා කරයි. ෂෝ ඉංජිනේරු පහරදීමකින් වෙන්වූ ඩේවිඩ්ගේ ශරීර කැබලි සමග පලා ගොස්, ඉංජිනේරුවන්ගේ නිජබිම සොයා පිළිතුරු සෙවීමට තීරණය කරයි.

 

වසර කිහිපයකට පසු, Alien: Covenant හිදී, Covenant යානාව  ඔරිගේ-6 වෙත ගමන් කරමින් සිටියදී අහම්බයෙන් ලැබෙන මිනිස් කටහඬ ඇති පණිවිඩයකින් අසල ග්‍රහලෝකයකට හරවා යවයි. ඔරිගේ-6 යනු මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය සුරක්ෂිත කිරීමට තෝරාගත්, දුරස්ථ ලෝකයකි. කාර්ය මණ්ඩලය සමග මිනිස් කළල රාශියක් ඇති මෙම යානාවේ ඔරිගේ 6 තුළ මිනිස් වර්ගයා ස්ථාපනය කිරීම මුලිකම අරමුණවේ.

 

අනිත් ග්‍රහලෝකයේදී, Covenant කාර්ය මණ්ඩලය ඩේවිඩ් "ජීවතුන්" අතර සිටින බව සොයා ගනී. ඔහු කළු විකෘතිකාරකය භාවිතා කර "ඉංජිනේරුවන්ගේ" සම්පූර්ණ ශිෂ්ටාචාරය විනාශ කර ඇත. මිනිස් අධීක්ෂණයකින් තොරව, ඩේවිඩ් වසර ගණනාවක් මෙම රෝග කාරකය පිරිපහදු කර, ෂෝගේ ශරීරය ආකෘතියක් කරගෙන ඔහුපරිපූර්ණ ජීවියලෙස විශ්වාස කරන සෙනෝමෝර්ෆ් නිර්මාණය කරයි. ඩේවිඩ් සටකපටකමින් මිනිසුන් මුලා කොට විනාශ කිරීම පිඹුරුපත් සැකසුවත් Covenant යානාවේ සිටින වඩාත් දියුණු android මොඩලයක් එයට බාධා කරයි.

 

චිත්‍රපටයේ අවසානයේදී, ඩේවිඩ් තමාට පෙනුමෙන් සමාන එහෙත් දියුණු මිනිසාට පක්ෂපාතී ඇන්ඩ්‍රොයිඩ්වරයා වන වෝල්ටර් ලෙස පෙනී සිට, රහසින් පිටසක්වල කළල Covenant නෞකාවේ ගබඩා කරයි. Covenant  කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් පමණක් ගැටුම් වලින් ඉතිරිවේ. ඔවුන්  David  විසින් ශිශිර නින්දකට පත් කරයි.

යානය ඔරිගේ-6 බලා පිටත් වෙයි.එය මනුෂ්‍ය වර්ගයා නැවත උපදවීමට නියමිත ලෝකයක් නොව, ඩේවිඩ්ගේ නව නිර්මාණ සඳහා වන රසායනාගාරයක් බවට පත්වෙන ලකුණු පෙනයි



  ඔන්න ඔහොමයි චිත්‍රපටි දෙක අවසන් වෙන්නේ.

 

මේ චිත්‍රපටි ද්විත්වයම නිර්මාපකයා නිර්මාණය සහ නිර්මාපකයාගේ විනාශය සාකච්චා කරනවා. තමන්ගේම DNA සැකැස්ම අනුව තමයි විශ්ව ඉංජිනේරුවන් මිනිසාව නිර්මාණය කරන්නේ. නමුත් මිනිසා ගුණ දම් වලින් පිරිහෙන බව දැනෙන විට ඔවුන් විනාශ කිරීමට සැලසුම් කරනවා. මේ ඉංජිනේරුවෝ දෙවියන් නෙමෙයි. ඔවුන් හුදෙක් විද්‍යාගාර පරීක්ෂකයන්. පරීක්ෂණය අසමත්. මේ චිත්‍රපටි රචකයා Ridley Scott වරක් කියනවා යේසුස් වහන්සේ මේ ලෝකයට එවන්නේ මිනිස්සු වෙනස් කරන්න කියලා ඒක අසාර්ථක උත්සහයක්. අවසන් තීරණය මිනිසා විතරක් නෙමයි ඇට මස් ලේ වලින් හැදුන සතුන් විනාශ කරන්න. පරික්ෂනාගාරයේ සිදුවන වැරදීම් නිසා නිර්මාපකයත් කළු ද්‍රව්‍යයෙන් විනාශ වෙනවා. අවුරුදු දෙදහසකට පෙර. මිනිසා අවස්ථාවේ බේරෙනවා.

ඊට පස්සේ මිනිසා කෘතීම බුද්ධිය සහිත android වරුන් නිර්මාණය කරනවා. android ඩේවිඩ්ගේ  නිර්මාපකයා බිලියනපති මනුස්සයෙක්- Peter Weyland. අවසානයේ මේ android දෙවියන්ගේ භූමිකාව කරනවා. ඔහු විසින් මිනිසුන්ගේ නිර්මාපකයා වගේම මිනිසාවත් විනාශ කරගෙන වඩාත් දියුණු ජීවියෙක් ඇතිකරන උත්සහයක් ගන්නවා. මේ හැමෝගේම මුල් නිර්මාතෘවරයා තවමත් නොදන්නා දෙවියන් වහන්සේ. ඉමක් නොපෙනෙන ආරම්භයක්.

 

මේකේ අනිත් සංකල්පය තමයි විඥානය (Consciousness) මේ චිත්‍රපටිවලින් දෙන අදහස විඥානය හුදෙක් මොළයේ  biology process  එකක් විතරයිද  කියන එක. ඉංජිනේරුවරු Conscious හැබැයි සදාචාරය  සහකම්පනය අනුකම්පාව වැනි දේවල් වලින් වියුක්තයි . ඔවුන් යම්කිසි නිර්මාණයක් කරන්නේ ඇයි? අනුකම්පාවකින් තොරව විනාස කරන්නේ ඇයි ? මිනිසා අතින් වෙනස් ඔහු අනුකම්පාව ආදරය වගේම වෛරය ඉරිසියාව ඇතිවෙනවා. Android ඇත්තටම Conscious ? self awareness තියන කුතුහලය සහ පරීක්ෂණයක් කිරීමේ අරමුණ තියනවා. ඔහුට දෙවියන් වෙන්න බැහැ.

 

දාර්ශනිකව හිතුවට මේ චිත්‍රපටියේ විද්‍යාත්මකව පැහැදිලි නැති අවස්ථා රාශියක් තියනවා. Android වලට සහ යානාවන්ට කොහොමද ශක්තිය දෙන්නේ, මිනිසා සහ ඉංජිනේරුවන් අතර DNA සමාන නම් රූපයේ බුද්ධියේ ඇති අසමානතා . කාල වකවානු ප්‍රශ්න. පිටසක්වල ග්‍රහලෝකවල ඇති නොදියුණු බව මේවගෙන් ප්‍රධානයි.

 

කොහොම නමුත් නිර්මාණකරුවෝ වුනත් නැතත් පිටසක්වල දියුණු ශිෂ්ටාචාරයක් ඇතිවෙන්න පුලුවන්ද? ඔබාමා කියපු දෙයක් සහ ට්‍රම්ප් ජනාධිපති කරන්න යන පිටසක්වලයන්ගේ හෙළිදරව්ව මේකට උත්තරයක් දෙයිද?

 

1950 FERMI Paradox කියන සංකල්පයෙන් අහන්නේ පිටසක්වලයන්  ඉන්න තියන ඉඩකඩ ගණිතමය වශයෙන් ඉහළ උණාට ඔවුන් සම්මුඛ නොවුනේ ඇයි කියලා. අපි මේ විශ්වයේ හුදෙකලාවම ඉන්නවා කියලත් කියන්න බැහැ.එහෙම හිටියත් අපිත් ඔව්නුත් අතර පරතරය සංසන්දනාත්මකව හරිම පළල්.

 

පිටසක්වල දියුණු ජීවින් හොයනකොට අපේ මූලිකම ගැටළුව තමයි අපි Earth Bias, Human bias වෙන එක. පෘථුවිය වැනිම ගුරුත්වයක් , වායුගෝලයක් සහ සුර්යාලෝකයක් සහිත ලෝකයක් නැතුව වෙන ලෝකයක ජීවින් කොහොම හිටීද? මිනිසා කියන්නේ දෘෂ්ටියට බැඳුන කෙනෙක් අපි පෙනෙන දේ අනිත් හැමදේටම වඩා විශ්වාස කරනවා. අනික් අතට අපේ cognition එක මනස ඒකජිවී. හිතන්නේ තනිවම. මම හිතන දේ මගේ ළගින් වැතිරිලා ඉන්න බිරිඳටවත්  දැන ගන්න බැහැ. පිටසක්වල ජීවියා එහෙමම වෙන්න ඕනේ නැහැ.

 

පෘතුවි ජීවය රැඳිලා තියෙන්නේ මූල ද්‍රව්‍ය කිහිපයක් මත . කාබන් (C ) හයිඩ්‍රජන් (H ) නයිට්‍රජන් (N ) ඔක්සිජන් (O ) පොස්පරස් (P ) සහ සල්ෆර් (S ) කියන පෘතුවි මූලද්‍රව්‍ය. මේවා  තමයි ජීව රසායන විද්‍යාව ඇතිකරන්නේ. C  කියන්නේ අපේ Back bone එක. සැකිල්ල. ප්‍රොමිතියස්. මේක සුවිශේෂ බැදීම් ඇතිකරනවා O අපිට ශක්ති ක්‍රියා දාමයක් දෙනවා. අපි දන්නා life එක ඕකතමයි. C ඔතනින් අයින් කරන්න ඉන්න හොඳම පෘතුවි මුලද්‍රව්‍ය තමයි සිලිකන් (Si ) සිලිකන් back bone සහිත ජීවයක් හැදෙයිද? එහෙම හැදුනත් ඒක දියුණු ශිෂ්ටාචාරයක් වෙයිද කියන එක ප්‍රශ්නයක්. Si සමගක්‍රියාත්මක වුනොත් අපිට වැලි සහ වීදුරු තමයි හැදෙන්නේ. එහෙමනම් සිලිකන් ජිවිත වලට O සතුරෙක් ජලය (H2O) තියෙන්නත් බැහැ වායුගෝල පීඩනය අධික උෂ්ණ පරාසයන් +/- පැත්තට තියෙන්න ඕනේ. හැබැයි සිද්ධාන්තිකව පුළුවන්.එහෙම ග්‍රහලෝකයක් තියෙන්න පුළුවනි.සමහරවිට අපි නොදන්නා පිටසක්වළ මුලද්‍රව්‍ය ජීවය  ඇතිකරනවා වෙන්නත් පුළුවනි.

 

මේ පිටසක්වල ජීවයේ සැකැස්ම වගේම ඔවුන් හිතන විදිහ සහ සිතුවිලිවල වේගය අනුවත් ශිෂ්ටාචාරයක බිහිවීම වෙනස් වෙන්න පුළුවනි.අපේ මොළයේ  රසායනික ක්‍රියාවලිය වෙන්නේ රසායනික ද්‍රව (Glutamate, GABA, Dopamine, and Serotonin වගේ  ) ආශ්‍රිතව. Silicon ජීවියෙක් Piezoelectricity ක්‍රමවේදයකින් නියුරෝන අතර සම්බන්ධවෙනවා වෙන්න පුළුවනි. එතකොට නියුරෝන ක්‍රියාකාරිත්වය මිනිහට වඩා බොහෝ වේගවත්.

 

ඔය ආකාරයේ බොහොමයක් වෙනස් ජීවි ආකාරයන් මේ විශ්වය පුරාම විහිදෙන්න පුළුවන්. ප්ලාස්මා ආකාරයේ ජීවි වර්ගත් ඉඳියි. ඔවුන්ට ශරීරයක් නැති හෝ ඉතා සියුම් ශරීරයක් තියෙන්න පුළුවනි.ජිවය ශරීරයක හෝ කටුවක හිරවෙන්න නැහැ. Unmaterialistic. ඒවගේම ඔවුන් තනි පුද්ගලයින්  වශයෙන් පවතින්න ඕනෙත් නැහැ.ඔවුන් සමහරවිට අතිශය වේගවත්. අපි දුරදක්න එල්ල කරගෙන බලන් ඉන්නකොට නොදැනීම කලුපාට වලාකුළක්  අපිව වෙලාගනියි.

 

මට තේරෙන විදිහට මේ විෂය හරිම සංකීර්ණයි. වර්තමානයේ විතරක් නෙමෙයි හින්දු බෞද්ධ ආගම් පවා මේ ගැන කතා කරනවා. ග්‍රීක දේව කතාවල පවා ඔවුන් මනුෂ්‍ය නොවනා ජීවින් ගැන තමයි කියන්නේ. හැබැයි බොහොමයක් අවස්ථාවල ඔවුන්ගේ ශරීර මිනිස් හැඩයකින් තමයි පරිකල්පනයකට නංවන්නේ.

   Buddhist Cosmology කියල කිව්වට මේ අදහස් හැමතැනම විසිරලා තියෙන්නේ. පස්සේ කාලෙක  තමයි එකතු කරන්නේ. දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රය මිනිසුන්ගේ පහළවීම දේශනා කරනවා. බුදුදහම කියන්නේ ලෝකයේ ඇතිවිමවත් පිටසක්වලයන් ගැනවත් කතාකරන දහමක් නෙමෙයි.ඒ නිසා තැන තැන විසිරිලා තියන දහම් කරුණුවලින් සම්පුර්ණ Buddhist Cosmology කියලා හදාගෙන කියන එක වැරදියි. ඒ සංකල්ප වලට ගරු කරන ගමන් ඒ ඔස්සේ හිතන්න පුරුදුවෙන එක තමයි වඩා හොඳ.

                 

                         



ශරීරය මනස වෙන් කරලා ගන්න පහත සඳහනට මම වඩාත් කැමතියි. ලෝවැඩ සඟරාව මේ කාම ලෝක රූප ලෝක අරූප ලෝක ගැන කියන්නේ මෙහෙමයි.

 

සිත මිස කය නැති බඹලොව සතරෙකි

සිත නැතිවම කය ඇති බඹ තලයෙකි

මෙද සත පින් කොට උපදින පෙදෙසෙකි

එහි උපනත් කුසලක් නොම කළ හැකි

 

පුරාණ ආසියානු දර්ශනයන් නිතරම මතක් කරන්නේ තමා තුලටම යොමුවෙන්න එතකොට ලෝකය දකින්න පුළුවන් කියලා. ඒවුනත් අපි එහෙම අහන අය නෙමෙයි.එළියට ගිහින් යානයක නැගලා පරතෙරක් නැති විශ්වයක කෙළවර හොයනවා. කවදාකවත් කරගන්න බැරි බව දැන දැන හොයනවා. ඒකනිසා අපි තවමත්  ආරම්භයක් අවසානයක් නැති චක්‍රයක හිරවෙලා. එහෙම තමයි නිහඬ මට හිතෙන්නේ.


16 comments:

  1. අයෙ ලිව්ව එක හොඳයි. 👌
    මම පලවෙනි එක බැලුවා. ඒ හැටි අලුත් දෙයක් හැටියට හිතට වැදුනෙ නම් නෑ.
    කමෙන්ට් වැටුනාම එන්නම් සාකච්චාවට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. චිත්‍රපටිය සංකල්පමය වශයෙන් ගත්තට අපි දන්නා විද්‍යාව අනුව නම් එච්චර හොඳ තැනක තියන්න බැහැ . දෙවෙනි කොටස ආර්ථිකමය අතිනුත් සාර්ථක මදි.

      Delete
  2. කාරණා කීපයක්...

    පිටසක්වළයන් අප විනාශ කරන්නට තැත් කරන විට මිනිසා ඊට එරෙහිව සටන් කිරීම ගැන 3001 දී පවා කතා කරනවා නේ. මට හිතෙන්නෙ ම සාරධර්ම(වලින් පිරිහීම) කියන්නෙත් මානව සංස්කෘතිය විසින් ඇති කරගත් සංකල්පයක් වන නිසා, වඩා නිවැරදි මිනිසා තම පැවැත්ම අඛණ්ඩ කරගැනීම හෙවත් පණ රැක ගැනීම සඳහා සටන් කරන බව.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ඩ්‍රැකී මහත්මයා ඇයි අපි පිටසක්වළ ජිවීන් හැමවෙලාවෙම අපිට තර්ජනයක් කියලා සලකන්නේ?. ඔවුන් සක්වල ග්‍රහලෝක අතර සැරිසරන්න තරම් දියුණු නම් නරක වෙන්න හේතුවක් නැහැ. මේ නරක පින්තුරය අපේම history එක නිසාත් නොදන්නා දෙවියන්ට වඩා දන්නා යකා හොඳයි කියලා අපේ හිත පතුලේ තියන අදහස නිසාත් වෙන්න පුළුවන්. සමහරවිට ඔවුන් අපිට පන රැක ගන්න උදව් කරයි.

      Delete
  3. අනික,
    මිනිසා තම ස්වරූපයට දෙවියන් නිර්මාණය කර ගත්තා වගේ, පිටසක්වළ ජීවීනුත් අනෙක් සියලු සංකල්ප වගේ ම තම ස්වභාවය සහ ඉන්ද්‍රියයන්ට ගෝචර වන පරාසය තුළ සාකච්ඡා කරනවා කියලා මට හිතේ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම. අපි ඔවුන් දිහා බලන විදිහටම ඔවුන් අපිව හොයනවා වෙන්න පුළුවන්. අපි රේඩියෝ තරංග භාවිතා කර සන්නිවේදනය කලත් ඔවුන්ට අපිව හදුනාගන්න බැරිව ඇති ඔවුන් භාවිතා කරන තාක්ෂණය සම්පුර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවනි.අපි ශබ්ද රූප සලකුණු Radio තරංග හරහා යැව්වට ඔවුන් සන්නිවේදනය රූප පරාස වෙනස් වෙන්න ඉඩ වැඩියි. ඔවුන් ඔවුන් අඳුරගන්න බැරිව ලතවෙනවා වෙන්න පුළුවනි.

      Delete
  4. විශ්වය හිතා ගන්න බැරි තරම් අති විශාලයි. ජීවයක් ඇති විය හැකි පරිසරක් සහිත ග්‍රහලෝකයක් පිහිටීම අති විරලයි. ඕකටම ජීවයක් ඇති වීම , එය නොනැසී පැවතීම, බුද්ධිමත් ජීවයක් දක්වා වර්ධනය වීම, ඔවුන් ග්‍රහලෝක තරණයේ යෙදීම, ඊට කලින් ඔවුනුත් අපි වගේ කා-කොටා ගෙන, තමන් ගේ මවු ලෝකය විනාස නොකරගැනීම, පිට සක්වලයින්ට විසඳන්ට, උන්ගේ ප්‍රශ්ණ නොමැති වීම. ඇවිත් අපිව ගොඩ දාන්න පුපේ අමාරුවක් ඇති වීම. අප අතර ඇතිවිය හැකි අති විශාල දුර තරණය කිරීමට(Faster than Light) තාක්ෂණයක් සොයා ගැනීම වගේ දේ බැලුවාම "ෆස්ට් කොන්ටැක්ට්" කියන්නෙ "නෙක්ස් ටු ඉම්පොසිබල්" දෙයක්.

    අපේ හොඳම බෙට් එක, අති දරුණු කාලගුණ සිද්ධි නැති, ද්‍රව වතුර තියෙන, ටෙරාෆෝම් කරගත හැකි, වායුගෝල පීඩනය අපට සමාන ග්‍රහලෝකයක් සොයා ගැනීම විතරයි.

    https://frozenlazyowl.blogspot.com/2025/04/blog-post.html

    ReplyDelete
    Replies
    1. link එකට ගිහින් බැලුවා.ඔය තියෙන්නේ කට්ටිය සාකච්චා කරලා ඔක්කොම.තව කථා කරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. Fermi ගේ ඉඳල Dark Forrest සහ Great filter දක්වා. මේ අදහස් වුනත් හරිම Earth Bias. Stephen Hawking හිටියෙත් මෙහෙම අදහස් වල, අපි හරියට ලොකු Construction site එකක් ළඟ තියන කුහුඹු ගුලක් වගෙයි කියලා. එහෙම නැතිනම් කොළොම්බස් ඇමෙරිකාව හොයාගෙන එහෙ හිටපු natives විනාශ වුනා වගේ අපිත් විනාශ වෙයි කියලා.
      පිටසක්වළ ජීවින් අකාරුණික නැති වුනත් ඔවුන් අතින් අපි විනාශ වෙන්න තියන ඉඩ වැඩි වගේ කියලා. අපි අපේ ඇඩ්රස් ලියලා යවපු රේඩියෝ පණිවිඩේ වුනත් යැව්ව එක භයානකයි කියලා තමයි සමහරු හිතන්නේ.

      හැබැයි මේකට ප්‍රතිවිරුද්ධ මතය තමයි ඔවුන් සක්වළ සැරිසරන තරම් දියුණු නම්
      1. ඔවුන් curiosity driven. කවදාකවත් scientist කෙනෙක් පුස්තකාලයක් ගිනි තියන්නේ නැහැ
      2. මෙහෙම සැරිසරන්න නම් නැනෝ ටෙක් Fusion ටෙක් හොඳටම දන්නා කෙනෙක් වෙන්න ඕනේ පිරිසිදු energy එකක් කියන්නේ සම්පත් වල අඩුවක් නැතිවෙන්න ඕනේ.
      කොලම්බස් පිටිපස්සේ හිටපු රාජ්‍ය නිසානේ ඇමෙරිකාව "විනාශ " වුනේ. එහෙම නැති පිටස්ක්වලයින් දැනටමත් අපිව observe කරනවා වෙන්න පුළුවන්. (The Zoo Hypothesis)

      ට්‍රම්පච්චි දැන් file වගයක් එලියට දානවා කිව්වනේ බලමු ඒවායේ මොනවද තියෙන්නේ කියලා. Epstein file වලට වඩා හොඳවෙයි.

      Delete
    2. ට්‍රම්පච්චි ගාව තියෙන්නේ "law of the jungle" නෙව? කට ඇරියොත් බොරු විදිනවා. Epsteinගෙ අයිලන්ඩ් ගිය scientistලත් හිටිය නේද?
      Stephen Hawking අපට හිටිය සැබෑ scientist කෙනෙක්. බ්ලැක් හෝල් රේඩියේෂන් එක නම්කරල තියෙන්නෙ ඔහුගෙ නමින්.

      පිටසක්වලයො ඇවිත් අපිව ගොඩ දැමීම = ඉන්වෙස්ටර්ල ඇවිත් ලංකාව ගොඩ දැමීම කියල හිතෙන්නෙ මම ඉතින් cynical පක්ෂියා නිසා බව පිලිගන්නවා. මේ ඔක්කොම ඔප්පු නොවූ හිතලු නිසා ඔබේ මතයට ගරු කරනවා. ගුඩ් ලක්!

      Delete
  5. රස විඳ තිබිණි කලෙකට පෙර මෙවැනි ෆිලුම්
    ආයෙත් බලන්නයි හිත දැක මෙවන් වැනුම්
    මේ වැනි posts කළඹයි සාගරය දැනුම්
    හැම වචනෙන්ම විහිදෙයි බුද්ධියේ කැලුම්

    ReplyDelete
    Replies
    1. ලියනට හැකි නමුත් යන්තම් පද හෑලි
      නිදී වගේ නැහැ නෙව විරිතට පේළි
      ඇවිද බලා කරමින් බුහුමන් සැහදී
      සලකුණ තබයි පුවතර උතුමන් පැහැදී.

      Delete
    2. යන්තම් කියන්නේ ඇත්තට මේවටද
      ඔබෙ පද පේළි පවසයි එය බොරු බවද
      බුහුමන් ලැබිය යුතු අයහට පුදන ලෙද
      සිරිතක් රකිමි, එහි වරදක් නැහැ නෙවෙද

      Delete
  6. මාත් බලපු හොද සිනමා පටියක් මේක

    ReplyDelete
    Replies
    1. ඔව්. විද්‍යාත්මක අඩුපාඩු තිබුනත් බලාගෙන ඉන්න ආසා හිතෙන චිත්‍රපටියක්

      Delete
  7. නිහඩපාල , මම ඊයේ තමා Romulas බලල ඉවර කලේ , එක එක සේවා වල subscription ගොඩක් තියාගෙන නිකං සල්ලි ගෙව ගෙවා ඉන්න හින්ද මම Disney+ cancel කළා , ඒක cancel වෙන්න කලින් බාගෙට බලපුවා ඉවර කරන්න හිතාගෙන Prometheus, Covenant , Romulas තුනම මේ ඊයේ පෙරේදා බලල දැම්ම ..(බ්ලොග් ලියන්න තමා කම්මැලි )


    මට හිතුනෙත් ඔය වගේ අදහසක් ,

    විශ්වය හැමවෙලේම නිර්මාණය කරනවා සහ විනාශ කරනවා .. ඒක තමා විශ්වයේ ස්භාවය .. කුමක් හෝ විදියට පටන් ගත්ත ජීවීන් ඕනේ තරම් ඉන්න පුළුවන් කියන එක තමා මගේ අදහස නම් .. අපි තාම අහස දිහා හරියට බලන්න පටන් අරන් අවුරුදු 50ක් වත් ගියාද ,

    මම දැක්ක එක තැනක Gravitational Waves වලින් සන්නිවේදනය කරන ජීවින් ඇති කියල , එහෙම ජීවීන්ට රේඩියෝ , ආලෝක තරංග ගැන හැඟීමක් වත් නැතුව ඇති .

    James Webb , Vera Rubin තාම වැඩ පටන් ගත්තා විතරයි .

    තව අවුරුදු 100-500කින් අපිට මොන වගේ යානා, දුරේක්ෂ තියෙයි ද තව මොනවා තියෙයි ද ?

    අඩුපාඩු රැසක් තිබ්බත් මම නම් ඒ කතා ටිකට කැමතියි .. ඊලඟට Predator සීරිස්‌ එකත් බලන්න ඉන්නේ

    ReplyDelete
    Replies
    1. Alien Romulus නම් මට එච්චර වැදුනේ නැහැ. අනිත් දෙක නම් රස වින්දා. අපි හිතනවාට වඩා සම්පුර්ණයෙන් වෙනස් ජීවීන් විශේෂයක් විශ්වයේදී අපිට හමුවෙයි. කම්මැලි නැතුව හොඳ ලිපියක් ලියන්න.

      Delete