Tuesday, August 18, 2026

නන්දක්කේ....

                                                     


පනා පුත්‍ර කුහුඹු පැණියා...

ඔව්... ඒ මම.

දැන් මම කොහෙද ඉන්නේ කියලා මගෙන් අහන්න එපා.

දෙව්ලොවක්ද?

බෞද්ධ දෙව්ලොවක්ද?

කතෝලික දෙව්ලොවක්ද?

මම දන්නෙත් නැහැ.

මොකද මම කතෝලිකයෙක්.

ඒක මගේ උපත.

ඒත් මගේ උපත සිද්ධ වුණේ ක්‍රිස්තියානි සංස්කෘතියක් මත ගොඩනැගුණු රටක නෙවෙයි.

මම ඉපදුණේ බුදු දහම අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ මේ දූපතේ මිනිස්සුන්ගේ ජීවිතයත්, භාෂාවත්, කලාවත්, ගෘහ නිර්මාණයත්, රාජ්‍යයත්, මතකයත් එක්ක මිශ්‍ර වෙලා තිබුණු රටක.

ඒ නිසා මට බුද්ධාගම කියන්නේ මගේ ආගම විතරක් නොවෙයි.

ඒක මගේ රටේ මතකය.

අනුරාධපුරයේ ගල් පුවරුවක් දැක්කාම මට නිකම් ගලක් පෙනුණේ නැහැ.

දාගැබක් දැක්කාම නිකම් ගොඩනැගිල්ලක් පෙනුණේ නැහැ.

රජෙක් ගැන කතාවක් ඇහුවාම නිකම් පරණ මිනිහෙක් ගැන කතාවක් පෙනුණේ නැහැ.

මට පෙනුණේ මිනිස්සු.

අපිට කලින් හිටපු මිනිස්සු.

ඔවුන්ගේ බිය.

ඔවුන්ගේ ආදරය.

ඔවුන්ගේ යුද්ධ.

ඔවුන්ගේ වැරදි.

ඔවුන්ගේ විශ්වාස.

ඔවුන් අපිට ඉතිරි කරලා ගිය ප්‍රශ්න.

ඒ නිසා තමයි මම ඉතිහාසයට මෙච්චර ආදරය කළේ.

ඉතිහාසය කියන්නේ මැරුණු මිනිස්සුන්ගේ කතාවක් නෙවෙයි.

ඉතිහාසය කියන්නේ ජීවත්වෙන මිනිස්සු තමන් කවුද කියලා තේරුම් ගන්න භාවිත කරන මතකය.

ඒත් පාසලේ ඉතිහාස පොතක් අතට දුන්නම හැමෝම ඒ මතකය අල්ලගන්නේ නැහැ.

ඒකයි මට හිතුණේ...ඉතිහාසය පොතෙන් එළියට ගන්න.

මම කතා කළා.

රූපවාහිනියෙන් කතා කළා. මහා සිංහලයේ වංශකතාව කිව්වා.

රඟපෑවා.

චිත්‍රපට හැදුවා.

පරණ මිනිස්සුන්ව අලුත් මිනිස්සුන්ට හඳුන්වා දුන්නා.

අන්තිම වෙනකොට ටියුබියානු සංවාද 

මට අවශ්‍ය වුණේ ඉතිහාසය පාඩමක් කරන්න නෙවෙයි.

ඉතිහාසය අත්දැකීමක් කරන්න.

කෙනෙක් කියයි,

“ඒක ඉතිහාසය නෙවෙයි. ඒක කතාවක්.”

ඔව්.

ඒක කතාවක් තමයි.



                                                       චිත්‍රපටයක් ඉතිහාස පොතක් නෙවෙයි.

නෝලන් ඉතිහාසය අරගෙන සිනමාවක් හදනවා.

මමත් මගේ රටේ ඉතිහාසය අරගෙන මගේ විදිහට කතාවක් හැදුවා.

ඒක තමයි මගේ කලාව.

ඒක තමයි මගේ ජීවිතය.

හැබැයි...

ජීවිතයේ අන්තිමට මට තේරුණා කලාවත් දේශපාලනයත් අතර තියෙන සීමාව මම හිතපු තරම් පැහැදිලි නැහැ කියලා.





                     මහින්දට විරුද්ධ වීම කියන්නේ මහින්ද කියන මිනිහාව පරාජය කිරීම විතරක් නෙමෙයි.  

                                             ඔහු වටා හැදුණු අර්ථයත් පරාජය කරන්න ඕන.

2010.

යුද්ධය අවසන් වෙලා.

රටේ මිනිස්සු ජයග්‍රහණයක් සමරනවා.

කලාකරුවන් ගොඩක් ඒ ජයග්‍රහණය සමරනවා.

මමත් එතැන හිටියා.

මහින්ද රාජපක්ෂ සමඟ.

ඒ මොහොතේ මට ඒක දේශපාලන පක්ෂයක සාමාජිකත්වයක් වුණේ නැහැ.

මට ඒක යුද්ධය අවසන් වීම ගැන තිබුණු හැඟීමක්.

රටේ ජයග්‍රහණයක් ගැන තිබුණු හැඟීමක්.

හැබැයි කාලය ගියා.

මගේ නමට අලුත් නමක් ලැබුණා.

“මහින්දගේ මිනිහා.”

ඒ නම හරිම පහසුයි.

මම කළ අවුරුදු ගණනක වැඩ අමතක කරන්නත් පහසුයි.

ඉතිහාසය ගැන මම කතා කළාද?

“රාජපක්ෂවාදී.”

බෞද්ධ සංස්කෘතිය ගැන කතා කළාද?

“ජාතිවාදී.”

අබා හැදුවාද?

“දේශපාලන ව්‍යාපෘතියක්.”

මම එක දවසක කාගේ පැත්තේ හිටියාද කියන එකෙන් මම ජීවිතය පුරා කළ දේවල් සියල්ල මැනලා ඉවරයි.

මහින්දට විරුද්ධ වීම කියන්නේ මහින්ද කියන මිනිහාව පරාජය කිරීම විතරක් නෙමෙයි.  

ඔහු වටා හැදුණු අර්ථයත් පරාජය කරන්න ඕන.

මොකද මහින්ද කියන්නේ මිනිහෙක් විතරක් නෙවෙයි.

ඔහු වටා යුද්ධ ජයග්‍රහණයක් තිබුණා.

ඉතිහාසයක් තිබුණා.

සිංහල මතකයක් තිබුණා.

බෞද්ධ සංස්කෘතියක් තිබුණා.

ගමේ මිනිහාගේ අනන්‍යතාවක් තිබුණා.

ඒවා ඔහුගේ දේශපාලන බලයේ කොටස් වෙලා තිබුණා.

ඒ නිසා දේශපාලනය කියන්නේ සමහර වෙලාවට මිනිහෙක් පරාජය කරන එකට වඩා වැඩි දෙයක්.

මිනිහෙක් වටා තිබෙන අර්ථය පරාජය කිරීමත් දේශපාලනයක් වෙන්න පුළුවන්. 

මංගලලා අනුරලා මේක දැනගෙන හිටියා 

මම ඒක දැනගත්තේ මගේ ජීවිතයෙන්. ඒගොල්ල SF  කඩලා යුද්ධයේ අයිතිය කැඩුවා . සිරිසේන උඩදමල ගැමියව ගොවියව කැඩුවා.

ඊළඟට සිංහල බෞද්ධ සංස්කෘතිය කඩන එක. ඒ විරුද්ධ දේශපාලන ව්‍යපෘතිය මට වැදුනා

මම වැරදි නැහැ කියලා මම කියන්නේ නැහැ.

මම හැමදාම හරි කියලාත් කියන්නේ නැහැ.

මහින්ද මහත්තයත් හරි කියලා මට කියන්න බැහැ .

හැබැයි මට එක දෙයක් කියන්න පුළුවන්.මට වුනුදේ කියන්න පුළුවන්.

මම එක දේශපාලන මොහොතක් නොවෙයි.

මම මිනිහෙක්.

මම කලාකරුවෙක්.

මම ඉතිහාසයට ආදරය කළ මිනිහෙක්.

මම මගේ රට ගැන කුතුහලයෙන් හිටපු මිනිහෙක්.

ඒත් අවසානයේ...

මමත් ලේබලයක් වුණා.

ඒ වෙලාවේ තමයි මට ඇය මතක් වුණේ.


නන්දා අක්කා.

මම ඇය දිහා බැලුවා.

“අක්කා...”

ඇය ඉන්නවා. පාළුවෙන් . කඳුළු පුරවාගෙන. 

දුක්බර ළමාවියක් . අසාර්ථක විවාහයක්.සුදු ඔසරියෙන් වහගෙන. තොරොම්බල් නැතුව.

“ඔයා දන්නවද අපි දෙන්නා අතර පුදුම සමානකමක් තියෙනවා.”

“ඔයා සංගීතයෙන් කතා කළා.”

“මම ඉතිහාසයෙන් කතා කළා.”

“ඔයා මිනිස්සුන්ගේ ආදරය දුක විරහව රට ජාතිය ගීතයක් කළා.”

බුද්ධානුභාවෙන කියලා හිත නිව්වා.

“මම මිනිස්සුන්ගේ මතකය කතාවක් කළා.”

“ඔයා පවන කළා. යදම් වලින් බැදගෙන යන පුත්තු ගැන කිව්වා.

“මම අබා කළා. යක්ඛ පුත්තු ගැන කිව්වා.

“ඔයා වේදිකාවට ගියා.”

“මම තිරයට ගියා.”

“අපි දෙන්නම මිනිස්සුන්ගේ හිත ඇතුළට යන්න උත්සාහ කළා.”

මම ටිකක් නිහඬ වුණා.

“ඒත් අක්කා...”

“ඔයාටත් මට වගේම දෙයක් සිද්ධ වෙලා.”

“මිනිස්සු ඔයාවත් එක කාලයක දේශපාලනයක දාලා වසාගන්න උත්සාහ කළා.”

“ඔයා පවන කළා.”

“ඔයා විරෝධය ගීතයක් කළා.”

“ඔයා රාජ්‍ය බලයට විරුද්ධව කතා කළා.”

“ඒත් ඒකෙන් ඔයාගේ මුළු ජීවිතයම අවසන් වෙන්නේ නැහැ.”

ඇය  කථා  නැහැ. ඇයට මාව පෙනෙන්නේ නැහැ.

“2022 දී ඔයා ගාලු මුවදොරට ගියා.”

“අතේ පුවරුවක් අරගෙන.”

“ගෝඨාභයට විරුද්ධව.”

“එතකොටත් සමහරු ඔයාව අතීතයේම තියාගත්තා.”

“ඒක තමයි අපේ කරුමය.”

“මිනිස්සුන්ට මිනිහෙක් වෙනස් වෙන එක පිළිගන්න අමාරුයි.”

“අදහසක් වෙනස් වෙන්න පුළුවන් කියලා පිළිගන්න අමාරුයි.”

“මිනිහෙකුට එක දවසක එක පැත්තක් පෙනිලා, තවත් දවසක තවත් පැත්තක් පේන්න පුළුවන් කියලා පිළිගන්න අමාරුයි.”

මම ඇයට ළං වුණා.

“නන්දා අක්කා...”

“ඔයා මට වඩා වෙනස් නෙවෙයි.”

“ඔයාත් මේ රටේ මිනිස්සුන්ට යමක් දීලා තියෙනවා.”

“මමත් දීලා තියෙනවා.”

“අපි දෙන්නාම දේශපාලනයට වඩා ලොකු දෙයක් කරන්න උත්සාහ කළා.”

“කලාව.”

මතකය.”

මිනිස්කම.”

මම ටිකක් නතර වුණා. ඇගේ  ඇස  අග කඳුළු. මගේ දේවල් ඇහිලා නෙමයි ඇයටම  හිතිලා.

“ඒ නිසා අක්කා...”

ඔයාගේ මිනිස්සුන්ට සමාව දෙන්න.

“ඔයාට වෛර කරපු මිනිස්සුන්ටත්.”

“ඔයාව වැරදියට තේරුම් ගත්ත මිනිස්සුන්ටත්.”

“ඔයාව එක ලේබලයකට දාලා අවුරුදු ගණනක් තීන්දු කළ මිනිස්සුන්ටත්.”

“මොකද අක්කා...”

“ඔයාත් මාත් එකම දෙයක ගොදුරු.”

මම ඇය දිහා බලාගෙන කිව්වා.

“අපේ කලාවට වඩා අපේ දේශපාලන ලේබලය මිනිස්සුන්ට මතකයි.”

ඒක කියලා මම ටික වෙලාවක් නිහඬව හිටියා.


මට හිතුණා...

සමහරවිට මරණයෙන් පස්සේ මිනිසෙකුට ලැබෙන ලොකුම දැනුම නිර්වාණය ගැන නොවෙන්න පුළුවන්.

සමහරවිට ඒ දැනුම මේක වෙන්න පුළුවන්.

ජීවත්ව සිටින මිනිසා කෙනෙකුට සතුරෙක්.

මැරුණු මිනිසා කෙනෙකුට ඉතිහාසයක්.

ඒ අතර තියෙන කාලය...

ඒ තමයි අපිට එකිනෙකාට සමාව දෙන්න තිබුණු කාලය. ඒක  දෙවියන්වහන්සේට කරන්න බැහැ . මොකද එහෙම සර්වබලධාරියෙක් තවම මට හමු නොවුන නිසා. 


පනා පුත්‍ර කුහුඹු පැණියා...

මම තවමත් කතා කරනවා.

හැබැයි මේ පාර...

මම ඉතිහාසය කියන්නේ නැහැ.

මම මිනිස්සුන්ගේ හදවත නිහඬවම කියවන්න උත්සාහ කරනවා.






No comments:

Post a Comment