80 දශකය මුල මසකට වරක් හෝ දෙවරක් පියාඹන්නාක් මෙන් අපේ ගෙදර යනෙන චරිතයක් විය. ඔහු මගේ පියාගේ මිතුරෙකි.ඒ මිතුරුකමේ ඇරඹුම මම නොදනිමි. රජයේ ලිපිකරුසේවයේ නියුතුව සිටි මගේ පියාත් DRO කෙනෙක් වශයෙන් සේවය කල රාජසිංහ අංකලුත් ජිවන ගමනෙහි යම් තැනක, රාජකාරි සන්ධිස්ථානයකදී හමුවී, එම සබඳතාව ගොඩනැගුනේ යැයි විශ්වාස කලහැක. මාහට දැනුම්තෙරුම් ඇතිකාලයෙහි පටන් රාජසිංහ අංකල් රැකියාවක් නොකළ නමුත් නිතරම පෙන්ෂන් එක ගැන උනන්දුවූ බැවින් ඔහු විශ්‍රාම වැටුපකට හිමිකම් කිවූ බව අනුමාන කල හැක.
එතරම් උසක් නැති තලෙළු එහෙත් තරමක තරබාරු දේහයක් සහිත රාජසිංහ අන්කල්, බිත්තර ගෙඩියක හැඩති මුහුණකින්ද, වැලිකැට ඇතිරු මෙන් සුදු කෙස් තැනින්තැන තවමත් පැළවෙන තට්ටයකින්ද, හැඩ විය. ඔහුගේ නැහැය බිඳුණු නැහැ පොල්ලකින්ද වක් වී අග පැතලි වූ සවාභාවයකින්ද නිසා ගම්පෙරළියේ පියල් සතුවූ කජු පුහුලම් නහයට වඩාත් සමාන විය.
80 දශකයේ අපේ ගෙවල් අමුත්තන්ගෙන් සරු වී තිබිණ. අපේ නිවසෙහි කාලයෙන් කාලයට ලොකු අම්මලාගේ දරුවන්ද මහප්පලාගේ දරුවන්ද අපි සමගම හැදී වැඩිණි. සමහරුන් අපේ නිවසේ සිට පාසල් ගිය අතර දඩබ්බර ගැටවර වියේ පසුවූ අය දෙමාපියන්ට වඩා පුංචි අම්මාට හෝ බාප්පාට හිත විවෘත කළහ.අපිද කාලෙන් කාලයට එවැනි ගෙවල්වල ගොස් මාස ගණන් ගතකරයි. අපේ අසල් වැසි නිවෙස් වලද ඕනෑ තරම් මෙවැනි නෑදෑ හිතමිත්‍රයන් දැකිය හැක. පිටපලත්වලින් රජයේ සේවයට පැමිණ හෙදියන් ගුරුවරුන් ලිපිකරුවන් තැපැල් කරුවන් වන අපගේ අසල්වැසියන්ගේ, කිරිඅම්මලාද බාප්පලාද නැන්දලාද යාලුවන්ද අපිත් හඳුනාගත්තෙමු. මේ කිසිවෙකුත් මිලමුදලින් පොහොසත් නැත. ඒ ජිවිත වල තිබුනේ තියනදෙයක් කාබී වැටි නිදන්නට ඉඩක් ලැබ මැසිවිල්ලක් නැති සරල සන්තෝෂයකි.
1920 පමණ දකුණේ ඉපිද යාපනයේ විද්‍යාලයකින් අධ්‍යාපනය ලැබ ඇති රාජසිංහ අංකල් ඉංග්‍රීසි දෙමල සිංහල භාෂා ත්‍රිත්වයම සුහුරුව හසුරවයි. කොළඹට නුදුරින් තම බිරිඳ සතුවූ විසල් නිවසක බින්න බැස සිටියද ඔහු එහි විසුවේ කලාතුරකිනි.අපේ නිවස සහ නෑදෑ නිවාස කීපයකුත් හැරුනුකොට ඔහුගේ චාරිකාවේ ප්‍රධාන නැවතුම්පොළ අනුරාධපුරයේ තිබු කුඹුරයි. ඇතැම්විට මාස ගණනක් අතුරුදහන් අංකල් සොයා කොළඹින් ඔහුගේ පුතා පැමිණෙයි. අපේ අය්යලා සමග සොයා බලු විට අංකල් තිගැස්මකින් සංකාවකින් තොරව කුඹුරේ පැලක වෙසෙයි. කිසිදු දවසක වී බුසල් ගණනින් නොලැබුන මේ කුඹුරත් රාජසිංහ අංකලුත් තමන්ගේ හැකියාවන් උපරිමය එළියට නොදීමට වගබලාගත්තේ, කතාකරගෙන එකඟතාවයකට පැමිණි ලෙසය. කෘමිනාශක පොහොර කුලීකරුවන් ආදී නොයෙක් ආකාර ගැටුම් ඇතිකරගත් රාජසිංහ අංකල්, මඩේ බැස හරි හරියට වැඩහි යෙදෙයි.
ඔහුගේ ගැටුම් සහ කළහ, කුඹුරත්, අයිතිව තිබු ඉඩම් කිහිපයත් සමග පමණක් නොව බස්රථයක කොන්දොස්තර කෙනෙකු සමග වුව විය හැක. ඔහුගේ නිවාස ඉදිරියෙන් උරුහම්බාන ගැටවරයෙකුට වරක් ඔහු කනට ගැසුවේය. මේ ශක්තිය ඔහුට ලැබුනේ උගත් පාසලෙන් වග ඔහු නිරන්තරයෙන් කියයි. පල්ලිය මගින් පාලනය වූ විද්‍යාලයේ නේවාසික සිසුවෙක් වූ ඔහු උදෑසන ආහාරයට ලබුන කෑම පිගානක අවසානයට කෙස් ගසක් දමා පිගන් දෙකක් කෑ වග කියා උස හඩින් සිනාසෙයි. පාසලේ බොක්සිං ක්‍රීඩකයකු වූ ඔහු තමන්ගේ නහයෙහි හැඩය ප්‍රතිවාදියෙකුගේ පහරකින් බිඳී ගිය ආකාරය රග දක්වයි. මේ කිසිවකුත් අතිශෝක්තියක් නොවන බව අද පවා ඔහුගැන මතක පිටු පෙරලෙන මට විශ්වාසය.
අපේ නිවාස ඉදිරියෙන් ඇති පාර බොරළු දමා සකස්කළ එකකි. රාජසිංහ අංකල් වෙලාවක් කලාවක් නොමැතිව එයින් මතුවෙයි.ඔහු මතුවී එන්නේ පාරේ දුහුවිලි වලින්මදැයි සිතෙන තරමට ගුරු පාටත් ඔහුත් ඒකාත්මික වෙයි. එක උරහිසක එල්ලා ගත දිග පටි සහිත ගමන් මල්ලේ ඇදුම් කැබලි කිහිපයකි. අනෙක් අතේ ෆයිල් මිටියකි. ඒ මිටියටම මැදිවී ඈපා පංචාංග ලිත් පොතකුත් රැදෙයි.කලාතුරකින් රැදෙන ක්‍රීම් ක්‍රැකර් පෙට්ටියක් හැරුන විට කිසිම කෑමක් බිමක් හෝ රස කැවිල්ලක් ඔහු ඇත නොරැදෙන නිසා කුඩා මට ඔහුගේ පැමිණීම කිසි අරුමයක් හැඟීමක් නූපදයි.
ඔහු අපේ නිවසේ කොට බිත්ති බැඳ තිබු ඉස්තෝප්පුවේ ඇති පුටුවකට බරදෙයි. මේ ගමන් වල හේතුව උසාවියේ විභාගවන ඉඩම් නඩු හබ වලට පෙනී සිටීමයි. ටික මොහොතකින් පුටුවෙහිම නිදා ගන්නා රාජසිංහ අංකල් අවේලාවේ පැමිණීමෙන් කුස්සියට කිසිදු බරක් නොදෙන්නට සැලකිල්ලක් දක්වයි.රෑබෝවුවිට ඉස්තොප්පුවෙහිම පැදුරක විසිර ඇලවෙන හෙතෙම ඔහුගේ ඇඟ යකඩින් සෑදුවක් මෙන් මදුරුවන්ටද රස්නයටද දහදියටද බාධාවක් වීමට ඉඩක් නොදෙයි. පසුදින අවදිවන ඔහු සපත්තු ටයි පටි වලින් සැරසී ඔහුගේ සදාකාලික ඉඩම් නඩුවට පිටත් වෙයි. හෙතෙම මිය ගිය පසුවත් ඉත්තේරුවෙන්ම කරන්නට යෙදුන එක් කාරණයක් නම් මේ නඩුව දවසට පෙනී හිඳ මියගිය වග පැවසීමයි. මේ ඔහුගේ ඉඩම් තණ්හාව නොව පටන් ගත් වැඩ අවසානයක් දක්වාම කරගෙන යාමට ඇති ආසාවයි.
නඩු හබ වලට අමතරව ඔහු කේන්දර බැලීමටද රුසියෙකි. ඔහු නැකත් සාදාගත් බවක් නොදන්නා නමුත් පංචාංග ලිත ඇසුරු කරගෙන කේන්දර බලයි. මේ කේන්දර ලිවීමට මගේ සහෝදරයන්ද ඇතැම් විටක හවුල් කර්ගනියි. ඒ රාජසිංහ අන්කල්ගේ හැඩ ඉංග්‍රීසි අකුරු සමග සැසදීමේදී සිංහල ලිවිම ඉතා නරක මට්ටමක තිබුන හෙයිනි. ඔහුගෙන් කේන්දර බලා ලංකාවේ දක්ෂ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සෑම ගෙදරකම සිටියයුතු වේද මහත්මයෙක් දක්වා දියුණුවූ බවත් ඔහු හමුවීමට අන්කල් නිතර ගියවගත් අපි දැනසිටියෙමු. කළුවර වැටුන ඇතැම් දිනවල රුපවාහිනී නොතිබුන අපේ නිවසෙහි නිවැසියන් එක කරගෙන විදුරුවක් මුනින් නමා භූතයන් සමග කතාකිරීමට උත්සහයක් ගත්තත් අපේ ගෙදරට භූතයන් එන්නට බයවිය.
![]() |
දේශපාලනිකව රාජසිංහ අංකල් J.R. සහ තොන්ඩමන්ට බලු බැනුම් බනියි. ඔහු 1970 කාලයේ චන්දයක් ඉල්ලු බව අසා ඇති නමුත් ඒ කුමන චන්දයකටද කුමන පක්ෂයකින්ද නොදනී.ඔහු විවාහ පත්වුයේ තරමක් වයසට ගොස් බව ඔහුගේ මගුල් පින්තුරයෙන් පෙන්නුම් කරයි. රාජසිංහ ඇන්ටි රුපරාජිනි තරඟයකින් දිනුමක් ලද රූමත් කාන්තාවකි. එහෙත් ඇයද ඉතා සරල දිවිපෙතක් ගත්කල අතර ආගමට දහමට බරවිය.
දිනක් රාජසිංහ අංකල් හදිසියේම හැන්දෑ වරුවක අපේ ගෙදරට ගොඩ විය. ඔහු පිටුපසින් අපේ නිවසට ගොඩ වන්නේ ඔහුගේ නව යොවුන් දූවරුන් තිදෙනාය. කොළඹ අශ්‍රිතව හැදුණු ඔවුන් මා මුල්වරට දුටුවේ එදාය.එවකට මගේ වයස අවුරුදු අටක් පමණ වන්නට ඇත.ගැහැණු ළමුන් කලිසම් හැඳ සිටිනු ගෙදර තිබුන සඟරා තුලින් දැක තිබුන මට දැන් සජීවීව තොල් ආලේපන උලාගත් කලිසම් අදින ඉංග්‍රීසි උගත් අක්කලා තිදෙනෙක් ඇත. මෙසේ නෑදෑ හිතමිත්‍රයන් නොකියා පැමිණීම ඒ දිනවල අරුමයක් නොවුවත් නව යොවුන් දියණියන් තිදෙනෙක් අපේ අම්මාට තරමක බරකි. ඈ කුස්සියේ සිට මැසිවිලි නගමින් අමුත්තන්ට තේ ලැහැස්ති කරයි. ඒ අතරතුරම අමුත්තන්ගේ නවාතැන සඳහා ඉඩ ලබදිය යුතුය.වැඩිහිටියන්ගේ මේ කතාබහ මටද ඇසේ .විටක සාලයට එබිකම් පාමින්ද කුස්සියට දුවමින්ද මම අන්ද මන්ද චරිතය රඟපාමින් සිටියෙමි.
මද වේලාවකින් මමද අක්කලා ද කුළුපග වීමු. කලිසම් හැඳ ඉංග්‍රීසි දැනසිටියත් ඔවුන් තුළ සිරවී සිටියේ අහිංසක ගැහැණු ළමුන් වග මට වැටහිනි . ඕනෑම පොඩි එකෙක් දකින විට cute කියන්නත් සිංදුවක් කියන්න කියන ඉල්ලීමත් මට යොමුවින. මුලින් ලැජ්ජාවෙන්ද පසුව දඟකාර ලෙසින්ද මේ ප්‍රේක්ෂකාගාරයේ ඉල්ලීම් ඉටුකරමින් ඒ සවස් වරුවේ අන්ද මන්ද චරිතයේ සිට ප්‍රධාන නළු චරිතයට රූපාන්තරණය වෙමින් සිටියෙමි.ඒ දිනවල මගේ එක් විනෝදාංශයක් වුවේ මේසයක් මතට නැගී කතා පැවැත්වීමත්, නොඑසේනම් සිවුරක් ආකාරයකට රෙද්දක් පොරවාගෙන බණක් කිවීමත් ය. මගේ ප්‍රේක්ෂකයෝ මේ හැකියාවන් දැන සිටියහ. ඔවුන්ගේ දැඩි පෙරැත්තය මා මේසය මත ගොඩ කරයි.
අත්පුඩි හඩින් දිරිමත්වූ මම කතාව පටන් ගතිමි.
"සභාවෙන් අවසරයි , අද අපේ ගෙදර හොඳ දවසක්. කට්ටිය ගොඩක් ඉන්නවා.ලිප්ස්ටික් ගාගත්තු කලිසම් ඇඳගත්තු කොළඹ අක්කලා ටිකක් අපේ ගෙදර ඇවිත්.අපිට ඉඩකඩ ප්‍රශ්නයක් තියනවා . ඉන්න දෙන්න තැනක් නැහැ. ඒ අයගෙන් අපිට කරදරයි කියලා අපේ අම්මා ...."
මෙතක් මගේ කතාව සාඩම්බරයකින් අසා සිටි අපේ ගෙදර වැඩිහිටියෙක් වහාම ඉදිරිපත්වී කපාහැරීමේ බලධාරී තනතුරට ආරූඩ නොවන්නට අපේම ගෙදර සියලු වැඩිහිටයන්ගේ සායම යන්නේය. දැනටමත් ඇතිව තිබූ හානිය පුරණය සඳහා කව්රුන් ඉදිරිපත්වුවාදැයි මතක නැත. එහෙත් වරදක් දුටු තැන කෝටුවකින් තලන්නට පසුබට නොවන අපේ අම්මාගෙන් ගුටි නොකා බේරුනේ අමුත්තන් පිරිසක් ඉදිරියේ එසේ නොකරන පිළිවෙත මතය.
අපේ අමුත්තන් නම් මේ කථාව එතරම් හිත් අමනාපයකට ගත්තේ නැත. ඉතා පසු කලෙකත්, මගේ දරුවන්ටත්, ඔවුන් තවමත් මේ කතාව විස්තර කොට සිනාසෙයි.අපේ අම්මා කෙරෙහිත් අක්කලා තුළ ඇත්තේ අපමණ සෙනෙහසකි. ඒ ඇය විසින් ඔවුනට කරන ලද යම්යම් උපකාරයන් නිසාය.
අපේ අම්මා, තාත්තාගේ මිත්‍රයින්ගෙන් රාජසිංහ අංකල්ට විරුද්ධත්වයක් නොපෑමට ප්‍රධාන හේතුවක් නම් ඔහු මත්පැන් පාවිච්චි නොකිරීමය.
ඔහුගේ දරුවන් කොතෙක් පෙරැත්ත කලත් රාජසිංහ අංකල් ගෙදරට වී සීටීමට ප්‍රිය නොකළේය. අවසානය දක්වාම ඔහුගේ චාරිකාවත් කුඹුරත් අත්නොහැර සිටියේය.පසු කලක නිර්මාංශ ආහාරවෙලකට පුරුදුව සිටි ඔහු අවුරුදු 70 පසුවී අනුරාධපුරයේම අවසන් හුස්ම හෙළුවේ අවසන් මොහොත දක්වාම දීර්ග කාලීන බෙහෙතක් පාවිච්චියට නොගෙනමය.
මගේ ජිවිතයට හමුවූ මෙවැනි මිනිසුන් අපි ජීවිතය දකිනා කෝණයට වඩා හාත්පසින් වෙනස් ආකාරයට ජීවිතය දෙස බලන බව සිතනවිට විශ්මයක් නිහඬ මගේ සිතට දැනේ. ඔවුන් සිටින්නේ අපට ඉදිරියෙන්ද පසුපසින්ද නොඑසේනම් වෙනම තලයකදැයි කිසිවෙකුටත් විනිශ්චය කළනොහැකි බව පමණක් නිසැකවම කිව හැකිය.
නියම ලිපියක්..!! අදටත් එයාලාගෙ ෆැමිලි එකත් එක්ක සම්බන්ධය තියෙනවා ද..? :)
ReplyDeleteඑක හුස්මට කියෙව්වා. නියමයි, ලස්සනට ලියලා තියනවා. 👌🙏
ReplyDelete