Saturday, January 10, 2026

ප්‍රංශ විප්ලවය

 



1980 මගේ නෑදෑයෙක් වැඩවර්ජනයට අහුවුණා.උන්නැහේගේ  වයස එතකොටත් 40ක්  වගේ ඇති. පොඩි ළමයි තුන් දෙනෙක් ඉන්න තාත්තෙක්. බැරිම තැන එයා එයාගේ පුංච් මස්සිනා ඉන්න ප්‍රංශයට ඇතුළුවෙනවා. ජිවිතේ කරදර වුනත් තමාටම කියලා කොළඹට නුදුරින් ගෙයක් හදාගෙන දරුවන්ට කරදරයකින් තොරව කන්න බොන්න පුළුවන් මට්ටමින් ආර්ථිකව ස්ථාවර වෙනවා. එයා එහේ  කරන්න ඇත්තේ සුළු රැකියාවන්. ලංකාවේ නම් ගිණුම් ලිපිකරු විදිහට අමාත්‍යංශයක වැඩ කෙරුවේ. කොහොම හරි ලංකාවට යන්න එන්න මට්ටමට කොළයක් හදාගෙන පලවෙනි වරට ලංකාවට එන්නේ 90 දශකයේ මුල වගේ. අවාසනාවකට එතකොටත් අර පොඩි ළමයි ලොකු වෙලා තමන්ගේම මාර්ග වල. නරකම වැඩ නොකලත් එක දුවක් අඩු වයසින් දීගයකත් ගිහින්.

 අපි නෑදෑ සනුහරේ ඉතිං පිටරට ඉන්න නෑදෑයෝ ගේන තෑගි භෝග වලට කැමතියි. අපේ ඥාතියත් ඔය හැම ගෙදරකටම චෝකොලට්, සබන්, තුවා, පුංචි අයිෆල් කුළුනක ආකෘතියක් සමග  සලාද කොළ වේලන ප්ලාස්ටික් භාජනයකුත් බෙදුවා. දැන් නම් අපිට තේරෙනවා මේ වැඩේ උන්නැහේ කරන්න ඇත්තේ කොච්චර අමාරුවෙන්ද කියලා. ඒවුනත් ඉතිං අපි සලාද කොළ ගන්නේ බත් එක උඩින් සරසන්න වගේ සෙල්ලම් වැඩවලට. වැඩිපුර ඉතින් පලා මැල්ලුම් තමා. ඔය නිසා අර සලාද කොළ වේලනය  ටිකකාලයක් අපි හැමෝගෙම ගෙවල් වල රාක්ක සැරසුවා. අපේ ඥාතීන් ඕකට කිව්වේ "'ප්‍රංශ විප්ලවය"" කියලා.

 ඇත්තම  ප්‍රංශ විප්ලවය අපේ පවුල්වල ලොකු කුඩා හැමෝමත් දන්නවා. බොහොම මතුපිටින්. පාන් නැත්නම් කේක් කාපල්ලා කියපු නපුරු බිසවත්, ගිලටිනයත් තමයි ඉතින් මතක. සමාජ අධ්‍යනය පොතෙත් තිබ්බා. එතනින් එහාට මට ඕක වුවමනා උනේ නැහැ.

 මගේ නෑදෑයා තවමත් ප්‍රංශයේ ජීවත්වෙනවා. පුරවැසිකම නැහැ. ලංකාවට නිතරම යනවා එනවා. මම හිතන්නේ රජයෙන් යම් දීමනාවක් ලැබෙනවා.ඔහුගේ පුංචි මස්සිනාටත් ඔහුගේ පවුලටත්  ප්‍රංශ පුරවැසිභාවය තියනවා.

 අපිට දෙසැම්බර මාසයේ  පැරිසියේ දින කීපයක් ගත කරන්නත් පුළුවන් වුනා. තවත් නිවාඩු ගමනාන්තයක් වුන සුරික් නගරයේ  ඉඳලා පැය  හතරක දුම්රිය ගමනකින් අනතුරුව පැරිසියේ ගර්දී ලියොන් ප්‍රදේශයේ තමයි අපි නැවතුනේ. මගේ නෑදයත් හමුවුනා. ලංකාවෙන් පැමිණ (දෙමළ ) සංක්‍රමනිකයෝ  බහුලව ඉන්නේ Le Chapel  ආශ්‍රිතවනේ. මම පැත්තෙත් ගියා. ජිවන තත්වය නම් දකුණු ආසියාවේ නගරයක සිරිය තමයි. Quality of life එක වුවමනාවෙන් තියාගෙන ඉන්නවද මන්ද. Euro  රුපියල් වලට මරුකරහම එන වටිනාකම ඇරුනහම පැත්තේ ජීවත්වෙන එකේ අරුමයක් මම දැක්කේ නැහැ. පැරිසියේ සංක්‍රමික ජිවිත ගැන වෙනම ලියන්න ඕනේ.

මෙවර ශිත ඍතුව උදා වෙනකොටම තමයි අපි පැරිසියට ඇතුළුවුනේ. මේක විශේෂයෙන් ශිත කාලයටම කරපු සංචාරයක්. නැත්නම් ඉතින් යුරෝපය හොඳ සරත් නැත්නම් වසන්ත කාලවලට.මෙවර අලුත් අවුරුදු උත්සව ආරක්ෂක හේතු මත අවලංගු කරලා තිබුනේ. මගේ පුත්‍රයා නම් ගැන කණගාටුවෙන්. නිව්යෝක් අවුරුදු උදාවට පමණක් දෙවෙනි වන පැරිස් අව්රුදු උදාව බලන එක වැලකුනා.

සාමාන්‍යයෙන් හිමපතනය අඩු නගරයක් වුනත් හීනියට හිම වැටෙන්ඩ  පටන් අරගෙන. පැරිසියේ හැම විදියකම තියන ගොඩනැගිලි කතාකරනවා. එගොලන්ටම කියන්න කතාවක් තියනවා. සාහිත්‍ය දර්ශනය චිත්‍ර කලාව දේශපාලනය මොනවද මේ විදී නොදැක්කේ. පැරිසියට මිනිස්සු ප්‍රේම කරන්නේ නිසා. රයින් ගඟත් මහා විශාල පල්ලිත් රජ මාළිගාත් ඇරුණුකොට හැම විදියම මොකක් හරි ප්‍රතිමාවක්.

 ළඟකදී  ගිනිගත් Notre-Dame Cathedral , white  church  කියලා හදුන්වන Basilica of the Sacré-Cœur (Sacred Heart Basilica) in the Montmartre district සහ මොනාලිසා සමග වීනස් ඉන්න Louvre Museum අපේ අවධානය දිනාගත් ස්ථාන. ඔය හැම එකක් අතරේම බැස්ටිලය පැත්තේ ඇවිද්දා. පැරිසියේ ඉඳලා  ටිකක් දුරින් තියන වෙර්සලිස්  මන්දිරයත් අපි බැලුවා. වන විටත් Blog වල අපි විප්ලව ගැන කතා කරපු හින්දද මන්දා මට මැවුනේ ප්‍රංශ විප්ලවය . ඒක මහ වෙනස් එකක්. රයින්  නදිය ලේ වලින් නැහැවුන එකක්. පැරිසියේ විදී  අතරේ මම දකින ප්‍රංශ විප්ලවය වෙනස්.

 



ප්‍රංශ විප්ලවය 1780  විතර ඇතිවෙන්නේ. පොත්වල තියෙන්නේ ප්‍රංශය නොයෙක් හේතු නිසා ආර්ථිකමය කඩාවැටීමකට ලක් වෙනවා කියල. පුජක පක්ෂය , රජතුමා ඇතුළු රදළ පාලක පක්ෂය සහ සෙසු පුරවැසියන් විදිහට තමයි ප්‍රංශ සමාජය ස්ථර තුනකින් සැකසෙන්නේ. සෙසු පුරවැසියන් කැරලි ගහනවා බඩගින්න නිසා. පැරිසියෙන් ටිකක් ඈතට වෙන්න තියන රාජ මාලිගාවට පෙළපාලි යනවා. රජ්ජුරුවන්ට පැරිසියට යන්න කියලා බලකරනවා. රජ්ජුරුවෝ පැරිසියට ගියත් එතනින් පලායන්න  උත්සහ කරනවා. අවසානයේ XVI ලුවී රජතුමාත් මාරි බිසවත් ගිලටීනයට නියම කරනවා. ඔවුන්ගේ දරුවන් මැරෙන තුරු සිරගත කරනවා. එක දුවක් පස්සේ ඔස්ට්‍ර්යාවට සිරකරු හුවමාරු ක්‍රමයකට ලබා දුන්නත් දරුවන් නැහැ. ලුවිගේ සහෝදරයෙක් පැනගන්නවා. විප්ලවය අරාජිකව ලේ හලමින් ගෙවෙනවා. අවසානයට නැපෝලියන් මතුවෙලා ප්‍රංශය වෙනත් මාර්ගයකට වැටෙනවා.

 

ඔන්න ඔය පර්ච්චේදය තමයි ප්‍රංශ විප්ලවය කියලා කියන්නේ. ඒක අඳුරු යුගයක්. ඊරියගොල්ල මහත්තයා පරිවර්තනය කරපු ""මනුතාපය"' පොතෙත් තියෙන්නේ ඔය කාලය ආශ්‍රිත ජීවිතය. අපේ රටේ කන්ද උඩරට රාජධානිය යුරෝපිය ආක්‍රමණ වලට මුහුණ දෙනවා.ප්‍රංශ කරයන්ට ආසියාවට එන්න බැරිවුනේ  මේ විප්ලවය නිසා. හැබැයි ඉංග්‍රීසි කාරයෝ ආවට වඩා ප්‍රංශ කාරයෝ ආවනම්  අපිට කලාව දර්ශනය පැත්තෙන් දියුණු වෙන්ඩ තිබ්බ. ආසියාවේ දියුණුව එක තැන නැවතිලා. යුරෝපයේ දියුණුව පටන් අරගෙන. ලෝක බල ධ්‍රැව වෙනස් වෙන්න අරගෙන. ඇමරිකානු ජනපද  බ්‍රිතාන්‍යයෙන් නිදහස් වෙන්ඩ යුද්ධයක. ප්‍රංශය ආර්ථික අමාරුව තියාගෙන ආධාර යවනවා ඇමෙරිකාවට.

 

 කාර්ල්  මාක්ස් ගේ කියවීම

 1."bourgeois revolution"

 කාල් මාක්ස් (1818–83)  ප්‍රංශ විප්ලවය දැක්කේ වැඩවසම් රදල පැලන්තියෙන් බොර්ෂුවා  පැලැන්තියට බල හුවමාරුවක් විදිහට.  බොර්ෂුව කියලා අදහස් කරන්නේ මධ්‍යම පන්තියකට. අය  තමන්ගේ බලය සහ ආර්ථිකය උදෙසා ධනවාදී චින්තනය යොදාගන්නවා.

 2.Terror

මාක්ස් මුල්  ලියවිලි වල ප්‍රංශ විප්ලවයේ බිහිසුණු බව නොවැලක්විය හැකි දෙයක් බවට විශ්වාස කළා. වැඩවසම්වාදය අතුගාලා දාන්නත් බොර්ෂුවා  පැලැන්තිය ඔවුන්ට කළනොහැකි ත්‍රස්ත බව පැතිරීමටත්  අවවරප්‍රසාද සහිත පැලැන්තිය ( plebeian) යොදාගත්තා . ඉදිරි විප්ලව වලත් යම් ක්‍රමයක් අතුගා දමන්න මේ භිෂණය වුවමනා වෙන වගට හැඟීමක් පලවෙනවා.

 3.Rights

මාක්ස් ප්‍රංශ විප්ලවය දේශපාලන නිදහස දිනා දුන්නට මිනිස්සුන්ට ආර්ථික නිදහස ලැබුනා කියල විශ්වාස කරේ නැහැ. ධනවාදය යටතේ එහෙම එකක් ලැබෙයි කියලා ඔහු තුල විශ්වාසයක් නැහැ.

 4.හේතු

මාක්ස් ප්‍රංශ  විප්ලවය වැඩවසම් සමාජය තවදුරටත් යාන්ත්‍රණයක් වශයෙන් ඉදිරියට ක්‍රියාත්මක කල නොහැකි නිසා පැනනැගුනක්  බව විශ්වාස කළා. ආර්ථිකය කඩාවැටීම. බොර්ශුවා පැලැන්තිය ආර්ථිකමය වශයෙන් රදළ පැලැන්තියට වඩා බලවත්වීම තමයි අනිත් හේතු.

 

 

ප්‍රංශ විප්ලවයේ ත්‍රස්තවාදය.

 මේක මෙහෙයෙව්වේ Jacobian cult  එක. මැක්සිමිලියන් රොබෙස්පියර් Maximilien Robespierre තමයි නියමුවා. 70% මියයන අය පිඩිත පන්තියෙන් . පුජකයන් රදලයන් සහ බොර්ෂුවා  පාන්තිකයන් ඉතිරි 30%, කුමන්ත්‍රණ වාද බොරු ප්‍රචාර තමයි මේ මරණ වලට හේතුව .භිෂණය සහ සිවිල් යුද්ධ නිසා සමස්ත මරණ ලක්ෂ 3 විතර වෙනවා. සැක  හිතෙන අයව මරණ එක සාමාන්‍ය වුනා.

 

 ප්‍රංශ විප්ලවයේ බොරු පැතිරවීම.

 මිථ්‍යාව සහ දුස්තොරතුරු කාලයේත් තිබුනා. ප්‍රංශයේ උමං තුල ඉඳලා රහසිගතව නිකුත්වුන පත්‍රිකා මේ තොරතුරු පතුරුවා. වෛරය පැතිරවීම  Jean-Paul Mara  ( 24 May 1743 – 13 July 1793) කියන ලේඛකයාගේ ලිවීමේ ශෛලිය තදටම බලපෑවා. මේ මරණ වලට වක්‍රව ඔහුට වගකීමක් පැවරෙන්නේ නිසා. ඔහු මරණයට පත්වන්නේ 25 හැවිරිදි තරුණියක් අතින් . ඔහු ගැනත් වෙනම ලියන්න තරම් දේවල්. මාධ්‍යවේදීන් කියන්නේ හැමවිටම ඇත්ත නෙමෙයි.

 මේ බොරුවේ ප්‍රසිද්ධම චරිතය තමයි මාරි බිසව.ලුවී රජුගේ බිසව. ඔස්ට්‍රියානු කුමරියක්. ප්‍රංශයට ඇවිත් විවාහ වෙන්නේ 14 වෙනිවියේ. ඇය ගැන ප්‍රසිද්ද කරපු පාන් නැත්නම් කේක්  කාපල්ලා කියන වදන පසුකාලීනව බොරුවක් බව ඔප්පු උනා. ඇයගේ ලියකියවිලි වලින් ඇය තරමක් සානුකම්පිත කාන්තාවක්. දියමන්ති මාලයක් පිළිබඳවත් අයට බොරු චෝදනා එල්ල කරා. ප්‍රංශය බංකොලොත් වුනේ ඇයගේ  ක්‍රියාකාරිකම් නිසා නොවෙයි. යුද්ධය නිසා. නමුත් ඇයව ඉතා නපුරු දුෂ්ට ලෙස පින්තාරු කොට මරා දැමුවා.

 ඇගේ පිරිමි දරුවා 17වන ලුවී අදුරු කාමරය සිරගත කොට රෝග වැළදීමෙන්  මියයන්නට සලස්වූවා.

 

ප්‍රංශ රජමාලිගාවේ සිරි බලනවිට හිතුන දෙයක් තමයි රජ පවුලක් වුනත් හැමවිටම සැප නොවිඳි බව. රජ පවුලේ කුඩා ළමයින් විවිධ  වසංගත නිසා ඉතා කුඩා වයස් වලදීම මියයනවා. අයගේ පෞද්ගලිකත්වයක් නැති තරම් බිසව දරුවන් ප්‍රසූත  කරෙත් ප්‍රසිද්දියේ කියනවා.ඔවුන්ගේ ඇදුම් ආයිත්තම් පවා මහා බර සාරයි.අපහසුයි.

  කොහොම වුනත් ප්‍රංශ විප්ලවය ගැන අංශක 360 අවබෝධයක් ලබා ගන්න තමයි උත්සහ කලේ. එතකොට තේරෙන දෙයක් තමයි ප්‍රංශයේ උනත් විප්ලවයකින් තොරව බල හුවමාරුවක් කරගන්න තිබ්බා නමුත් වෛරය පැතිරවීම නිසා ලේ ගංගාවක් වුනා. බ්‍රිතාන්‍ය මේ වෙනකොටත් බල හුවමාරුවේ ඉදිරියට ගිහින්

අර භාජනයට ප්‍රංශ විප්ලවය කියන නම හරියටම ගැලපෙනවා කියල තමයි දැන් හිතෙන්නේ. ඥාතියාට ඒකට  මුදල් වැයවුනා  ගේන්න මහන්සි වුනා හැබයි වැරදි සංස්කෘතියකට වැරදි මිනිස්සුන් අතට පත්කළේ.

ලංකාවත් මේ ආසන්නයටම ගියපු අවස්ථා තිබුනා. මැතම උදාහරණය 2022 අරගලය, වාසනාවකට මග නැවතුනා.

1848 දෙවන ප්‍රංශ විප්ලවයට අදාළව කාර්ල් මාර්ක්ස් ගේ ප්‍රසිද්ධ කියමනක් තියනවා. History repeats itself, first as tragedy, second as farce, ඕක දිගටම නැවත නැවත වෙනවා. කිසියම් මොහොතක අපි ඉන්නේ tragedy  එකකද එහෙම නැතිනම් කවටයෙක් එක්කද කියලා තේරුම් ගන්න වෙන්නේ පස්සේ. නිසා මුළු ලෝකයම පරිස්සමින් බල හුවමාරු වලට යන්න ඕනේ. නැතිනම් මිලේච්ච්ත්වය ඉස්සරහට පනිනවා.

 

අපි ඉතිහාසය ඉගෙනගෙන තිබුනොත් (හරියට ) වර්තමානය තේරුම් ගන්න පුළුවන්. ඕක තමයි නිහඬවම මට හිතෙන්නේ.මමත් දැනුයි ඉතිහාසය ඉගෙනගන්න උත්සහ කරන්නේ නිසා වැරදි තිබුනොත් අපි කථා  කරමු.


21 comments:

  1. +++++++++++++++++++👌💐
    බොහොම ලස්සනට ලියලා තියනවා. අර පෞද්ගලික අත්දැකීම් සහ ප්‍රංශ විප්ලවය එකට ඈඳපු හැටි හරිම අපූරුයි. එක හුස්මට කියෙව්වා. මේකට කොළඹ ගමයාගේ පිළිතුර එනතෙක් බලා ඉන්නවා.😁

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බස්ස මහත්මයා . ඔව් කොළඹ ගමයගේ comment නෑ කියන්නේ ඉතින් ලුණු ඇඹුල් නැතිව හොද්ද හැදුවා වගේ තමයි.රස ගුණ එකතුවෙන්නේ එතකොට.

      Delete
    2. මේ විශ්වාසයට ඔබල දෙන්නටම ස්තූතියි ☺️

      Delete
  2. දේශපාලන බලය සඳහා ජනමතය වෙනස්කිරීමට බොරුව හා සාවද්‍ය තොරතුරු සමාජගත කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. මේ සමහර සිදුවීම් මෙහෙත් වෙනවා නේද කියලා හිතෙනවා කියවාගෙන යනකොට.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඉතිහාසය පුරාමත් වුනා. මිනිස්සුන්ට තාම මේ පිම්ම පැනගන්න බැරිවුණා.විශේෂයෙන් අරාජික යුගවල.දුස්තොරතුරු වෛරයත් එක්ක ගැට ගහන එක තමයි භයානක.

      Delete
  3. ස්තූතියි බස්සා සහ නිහඬ පාල මහත්මයා . //බොර්ෂුව කියලා අදහස් කරන්නේ මධ්‍යම පන්තියකට// මේකේ පොඩි වැරැද්දක් තියනව . රජ පෙලැන්තිය සහ දුප්පතුන් අතර සිටින කොටසට තමා මුලින්ම ඒ වචනය භාවිතා කලේ . එතකොට මධ්‍යම පන්තිය කියන එක ටිකක් හරි . නමත් ඔවුන් අපර් ක්ලාස් ඊක් හිටි වෙළෙන්දොත් එතනට තමා දැම්මේ . මාක්ස් ගේ නිර්වචනය වෙනස . එයා කිව්වේ භාණ්ඩ නිපදවීම හා ඒවායේ අයිතිය හිමි - ක්රමන්ත , බිස්නස් , ඉඩම් හිමි කොටින්ම ප්‍රග්ධනයේ අයිතිය හිමි අය bourgeoisie කියල . එතොට ප්‍රංශ විප්ලවය මාක්ස්ට අනුව ධනවාදී විප්ලවයක් . වැඩ වසම් යුගයේ සිට ධනවාදී යුගයට මාරු වීමක් . ඒක ප්‍රචණ්ඩව සිද්ධ වෙන්නත් පුළුවන් . නොවෙන්නත් පුලුවන් .

    ReplyDelete
    Replies
    1. එකඟයි. බොර්ෂුවා කියන්නේ ආරම්භය නේද? ඒ අය අතු ඉති බෙදිලා ධනපති පැලැන්තිය (අද tech billionaires ) උසස් මධ්‍යම පන්තිය. ඊළඟට සුළු ධනේශ්වරය, ඇකඩමියාව ආදී තැන්වලට විකාශය වුනා නේද?

      Delete
    2. සුළු ධනේශ්වරය කිව්වහම මධ්‍යම සහ උසස් පන්ති දෙකක් අයිති වෙනවා මම හිතන්නේ . සුළු ධනේශ්වරය, ඇකඩමියාව ආදී තැන්වලට විකාශය වුනා නේද? ඔව් නේද . මේක හරි . සින්දු කියන අය , නළු නිලියෝ හෙමේ මේ අය මුදල් හැම කරලා සුළු ධනේශ්වරයට යනවනේ . ඒ අයගෙන් ප්‍රාග්ධන හිමිකාරිත්වය ඇති අය ධනපති පන්තියට යනව. ඉඩම් කර්මාන්ත ශාලා කරන අය සමහර අය අනිත් පන්ති වලට කැමති වෙනවා . උදාහරණ නන්දා මාලිනි වගේ නේද

      Delete
  4. මමත් දෙපාරක් පැරිස් ගියා ලස්සන පැත්තක් තියනව . හවසට කෝෆි බිබී දර්ශනවාදය, සිනමාව , කවි ගැන කටත් අක්රන් කල්චර් එක ටිකක් තිබ්බ අපි යනකොට . දැන් ඒවා නැහැ . සංක්‍රමණික ජනතාව නිසා ඒව ඔක්කොම වෙනස් වෙලා . එක පැත්තක් තියනව පොලිසිය යන්නෙත් නැහැ . නමුත් පැරිසියට කැමතියි . නගරය විනාශ වෙයි කියල හිට්ලර් ට යටත් වෙච්හි අයනේ .

    ReplyDelete
    Replies
    1. පාන් සහ කෝපි සුවඳින් ඉස්සර පැරිස් විදි පිරිලා තිබුනා කියලා අහල තියනවා. පික් පොකට් ප්‍රශ්නය තදින්ම තියනවා. හැමතැනම නිවේදනය කරනවා පික් පොකට් වලින් ප්‍රවේශම් වෙන්න කියලා. සංක්‍රමනිකයෝ අයිෆල් කුළුණ ළඟ අරක්ගෙන .

      Delete
  5. සමාවෙන්න වැරදි වලට . කතා කරලා ලියන එකඟ වැරදි ගොඩක් වෙනවා .//හවසට කෝෆි බිබී දර්ශනවාදය, සිනමාව , කවි ගැන කතා කරන කල්චර් එක ටිකක් තිබ්බ අපි යනකොට //.//ප්‍රංශ රජමාලිගාවේ සිරි බලනවිට හිතුන දෙයක් තමයි රජ පවුලක් වුනත් හැමවිටම සැප නොවිඳි බව. රජ පවුලේ කුඩා ළමයින් විවිධ වසංගත නිසා ඉතා කුඩා වයස් වලදීම මියයනවා. ඒ අයගේ පෞද්ගලිකත්වයක් නැති තරම් බිසව දරුවන් ප්‍රසූත කරෙත් ප්‍රසිද්දියේ කියනවා.ඔවුන්ගේ ඇදුම් ආයිත්තම් පවා මහා බර සාරයි.අපහසුයි.

    ඒ කොහොම වුනත් ප්‍රංශ විප්ලවය ගැන අංශක 360 අවබෝධයක් ලබා ගන්න තමයි උත්සහ කලේ. එතකොට තේරෙන දෙයක් තමයි ප්‍රංශයේ උනත් විප්ලවයකින් තොරව බල හුවමාරුවක් කරගන්න තිබ්බා නමුත් වෛරය පැතිරවීම නිසා ලේ ගංගාවක් වුනා. බ්‍රිතාන්‍ය මේ වෙනකොටත් බල හුවමාරුවේ ඉදිරියට ගිහින්. // මේ කොටසට නම් හිනා යනව . තව දුරටත් කියවන්න ප්‍රංශයේ ඒ කාලය ගැන . රජ පවුල සහ රදලයන් අති දරුණු විධිහට ටැක්ස් ගැහුවා . වෛරය ඇති වෙන්නේ ඒ වලින් . මිනිසුන්ට කන්න නැති වුනහම . රජ පවුලේ මාලිගාවල විශාලත්වය දැක්කද ? බිසව ගැන පව් වෙන්නේ ගැහැණියට ඒ කාලයේ සලකපු අන්දම නිසා . එයට එහෙමන් ඊට පහල අය කොහොම හිටියද කියල හිතා ගන්න පුලුවන්ද / කෙටි විස්තරයක් දෙන්නම් 80% ගැමියන් . දිනපතා වැඩ අක්රන් කම්කරුවන් . 1787 ලොකු සාගතයක් එනවා . මිනිස්සු බඩ ගින්නේ මැරෙනවා . මිනිස්සුන් ජිවත් වුනේ ලනක්වේ මැටි ගෙවල් වගේ ෂැක් වල . ඒවා සහ රදලයන්ගේ ලොකු ගෙවල් සසදන්න . වෛරය එහෙම ති වුනා මිසක් පාන් නැතිනම් කේක් කාපල්ලා කීව කතවට නෙමේ . ඒක ඒ මනුස්සය කියන්නත් ඇති එයා බොළඳ ළමයෙක් නිසා . නමුත වෛරය පැතිරුනේ මිනිසුන් වින්ද දුකට . ලංකාවේ අරගලයේ මුලත් ලයිට් කපල , AC ඕෆ් වෙලා , තෙල් පෝලිම් ආවහම . ඕක තවමත් වරදවා වටහා ගැනීම මට නම් පුදුමයි .

    ReplyDelete
    Replies
    1. Jean-Jacques Rousseau කියන ලේඛකයෙක්ගේ ලියවිල්ලක තමයි ඔය පාන් නැත්නම් කේක් කාපල්ලා කියන සිද්දිය ඇතුළුවෙලා තියෙන්නේ . ඒක Marie Antoinette, රජ බිසව වෙන්න ඉස්සරම ලියවුන එකක්. කව්ද හරියටම කිව්වේ කියලා ලියලා නැහැ.
      වඩාත්ම වැදගත් දේ MORAL JUDGMENT එක. ප්‍රංශ බිසව 100% නිවැරිදි නැහැ. ඇයගේ වැරදි තියනවා. හැබැයි ඇයව ඝාතනයට ලක් කරපු කණ්ඩායම ඒක glorify කරා. ඇය ඉතා නරක නපුරු චරිතයක් ලෙස. ඒ අතරම තමන් ඉතා පිරිසිදු වැරදි නැති කියන මට්ටමට තියාගත්තා. හොඳම එක ඒ අය තමන්ව හදුන්වාගන්න කියා ගත්ත දේවල්. ජනරජයට පක්ෂපාතිවීම. Luxury, වරප්‍රසාද සහ සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කිරීම , තමන්ට පෙර සාමාන්‍ය ජනතා සේවය වගේ නිකං හුරුපුරුදු කතා. ප්‍රංශ විප්ලවය Moral Purification එකක් විදිහට තමයි මේ අය කිව්වේ.

      නැවතත් මට කියන්න ඕනේ වෙන්නේ system change කරනකොට අවම වශයෙන් බ්‍රිතාන්‍ය ක්‍රමයවත් අනුගමනය කරන්න ප්‍රංශ ක්‍රමය ගැන නම් හිතන්නවත් එපා

      Delete
    2. එයාලගේත් දරුණු කමක් තිබ්බ . ඒක ඇත්ත . බ්‍රිතාන්‍ය ක්‍රමය සෑහෙන දුරට හොඳ වුනා එයාලට . එයාල ඒක යටත් විජිත වල ක්‍රියාත්මක කලේ නැහැ . දන ඉරානයේ 12000 මරල් කියනව . ආණ්ඩුව කියන්නේ 2000. කියල අතර මැද අගයක් ගමු . කජු ඇටද කොස් ඇටද ? දැන් ඔතන් වෛරයක් අනිවාර්යයෙන්ම ඇති වෙනවනේ . විරෝධතාකරුවෝ දිනුවොත් මොකද වෙන්නේ ?

      Delete
  6. බ්‍රිතාන්‍යයේ ධනවාදී වවිප්ලව 1640 ගණන් වල ඇතිවුනේ ඔලිවර් ක්‍රොම්වෙල් එක්ක . එතනදී චාල්ස් රජුගේ හිස ගසා දැම්ම . වැඩවසම් ක්‍රමය පෙරලුනේ එහම් . රජුගේ ඇබ්සොලියුට් බලය නැති කළා . පාර්ලිමේන්තුවට සහ ප්‍රාග්ධනය සහිත ධනවාදීන්ට , වෙලන්දන්ට ඉඩම් හිමියන්ට බලය ලැබුන .

    ReplyDelete
    Replies
    1. මේක අපි හොදින් බලන්න ඕනේ තැනක්. මිනිස්සු ඉස්සර හිතුවේ රජවරු කියන්නේ දෙවියන්ගේ නියෝජිතයා කියලා. එතකොට රජවරු ලොකු මන්දිරවල ඉන්න එක ප්‍රශ්නයක් නෙමෙයි.අදවගේ චින්තන හැකියාවක් මිනිසුන්ට තිබුනේ නැහැ. මේ මන්දිර පවා ක්‍රමිකව ගොඩනැගුණ දෙයක්. ප්‍රංශයට එංගලන්තයට හෝ ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකයේම එහෙමයි. 17 වන සියවස වෙනකොට මේ සිතුවිල්ල වෙනස් වෙනස්වෙනවා. එංගලන්තයේ ක්‍රමික වෙනසක් වෙනවා. අනිත් මිනිස්සුන්ටත් පාලනය බලය වගේ සංකල්ප පහළවෙනවා. මේක තමයි මානසික පරිණාමය. ලෝකේ හැමතැනම එකම වගේ කාලවකවානු වල රාජාණ්ඩු පෙරළෙනවා.පාර්ලිමේන්තුවට බලය යනවා. නමුත් වෛරයක් ගොඩනගන්නේ නැහැ. ප්‍රංශයේ වෙනස්, දැඩි වෛරයක් ගොඩනගනවා.ලංකාවෙත් නුතන මධ්‍යම පංතිය තමයි අරගලය කරේ. ඔවුන් කොරෝනා වසංගතය නිසා ඇතිවුන බලපෑම වෛරයකට හරවන්න උත්සහ කළා.එකෙන් අදහස් වෙන්නේ නැහැ කොරෝනා එන්න ඉස්සර අපි ශක්තිමත් කියලා.


      බ්‍රිතානයේ රජු හිස්ගසන එකයි ප්‍රංශයේ හිස් ගසන එකයි අතරේ වෙනසක් තියනවා. බ්‍රිතානයේ රජු යුද්ධ කරනවා.(Civil War ) ආගමිකව කතෝලික වෙනවා. ආගමික ගැටුමක් වෙනවා.පාර්ලිමේන්තුව සමග සහයෝගයක් නැති වෙනවා. එතකොට රජුගේ හිස ගසා දමනවා.මේ වෙනකොටත් බලහුවමාරුවේ plan එකක් තිබුනා.රට අරාජික වෙන්නේ නැහැ. ක්‍රමික බල හුවමාරුවකට යනවා. එහෙම නේද ?

      XVI ලුවී එහෙම රජෙක් නෙමයි . බොහොම වැනෙනසුළු ප්‍රතිපත්ති තිබුනා කියලා කියන්නේ.සාකච්චාවෙන් බලහුවමාරුවකට ඉඩ තිබුනා.රජු පැනල යන්න උත්සහකරනවා. ඔහු මරන්නේ symbolic මරණයක්. ඔහුගේ බිසවත් එහෙමයි. නමුත් ලුවී රජු මරුනහම විප්ලවය අඳුර තවත් දිගටම ගියා. වෛරය දිගටම. ආයතන බිඳවැටීම. සැලැස්මක් නැති, පාලනයක් නැති, අරාජික බවකට යනවා. මේකට හේතුව විප්ලවය කරාට බලය ගන්න සුදානමක් නැති එක.

      අපි පාඩම් ඉගෙනගන්න ඕනේ මේ දෙකේ වෙනස.තව තවත් හොයන්න වෙනස්කම් පෙන්වා. හැබැයි දෙකේදීම වැඩවසම් ක්‍රමය බිඳ වැටෙනවා.
      ඔන්න ඔතන තමයි මාක්ස් ගේ කියවීම වැදගත්. මාක්ස් මොකද මේ terror එකට කිව්වේ?

      Delete
  7. ප්‍රංශයේ සමාජවාදී හෙවත් පීඩිත පන්තියේ විප්ලවය ධනවාදයට විරුද්ධව ඇති වුනේ 1871 පැරිස් කොමියුනය පිහිටවපු එක . - මාක්ස් සමාජවාදී විප්ලවයක් ගැනඅදහස් ගොනු කලේ ඒකට https://en.wikipedia.org/wiki/Paris_Commune

    ReplyDelete
    Replies
    1. මේක සාර්ථක වුනේ නැහැනේ? දාර්ශනිකව සාර්ථක නොවීමට හේතු ඇති.

      Delete
    2. ඒක පැරදුනා තමයි . දවස් කිහිපයක් අල්ලන් හිටිය . මාක්ස් ප්‍රථම කොමියුනිස්ට් ප්‍රකාශනය ලිව්වේ ඒක උදාහරණයකට අරන් . එහෙම වෙන්න පුළුවන් . හැම වෙලේම දිනන්න ඕනේ නැහැ . නමුත් මාක්ස් හිතුවේ දියුණු කාර්මික රටවල විප්ලවයන් ඇති වෙනවා කියල . ලෙනින් සහ ට්‍රොට්ස්කි ගේ දක්ෂ කම නිසයි රුසියවේ සිදුවුනේ කියල මම හිතන්නේ .

      Delete
    3. //මාක්ස් හිතුවේ දියුණු කාර්මික රටවල විප්ලවයන් ඇති වෙනවා කියල//
      දියුණු කාර්මික රටවල ඒකාධිපතියො නං බිහි වෙනවා.

      Delete
    4. නිහඩපාල මහත්තයො , ලන්කාවේඅතීත ආවර්ජනයට කෘතගුණ,
      ඒ 1980 සේවක වැඩ වර්ජනය කොටස මට ඉතාම සමීපයි, මගේ දැක්ම
      ලාංකික දේශපාලනයේ පාලකයින් ගත් ඉතාමදරුනු සහ නරකම තීන්දුවලින් එකක් , පඩි වැඩි කිරීමක් රුපියල් 200/=
      300/= ඉල්ලා වැඩ වර්ජිත ජනයා සේවයෙන් පහ කිරීම,

      මම ඊට සම්බන්ද වූවෙක් නම් නොවෙයි, නමුත් වක්‍රව මට සම්බන්ධයක් ඇත, ඒ මගෙ භාර්යාව සහ ඇගේ අක්කා අයියා අම්මා ඇතුළු ඇගේ පවුලේ අය ඒ කලු තීන්දුවෙන් දරුණු ලෙස බැට කෑ තවත් ලාංකික දරුපවුලක් වූ හේතුව මත,
      ලංකා ලිපිකරු සංගමයේ මූලිකයකුවූ මගේ මාමන්ඩිය වැඩ වර්ජනයන්ගේ ඉදිරිපෙලේ අයෙක් විය,
      ඒ හේතුවෙන් රැකියාව අහිමිවූ ඔවුන්ගේ පවුලේ පැවතුම් ඉතාම කටුකවිය, හොද කැම බීම ගැනීම, අද්‍යාපනය ලැබීම, බාහිර ක්‍රියා කම් කිරීම, දැඩ් ලෙස සීමා කිරීමට වූයේ
      දැඩි ආර්ථික අස්තාවරය නිසාවෙන්,

      එය කෙසේවෙතත්
      ප්‍රංසයට කිසිදා නොගිය මා දන්නේ ප්‍රංසය වූ කලී විනෝද කාමි රසකාමි පිරි නිදහස් පාරාදේශයක් බවයි ඔබේ ලිපියෙන්
      ප්‍රංසය තුළද අනු සංස්කෘති බොහෝ ඇති බව වැටහී ගියා සේම තවත් එහි ඉතිහාසය සහ වත්මන් තතු සෙවීමට හිතතිව ඔබට තුති,,

      Delete
    5. ඇනෝ මහත්මයා ස්තුතියි comment එකට. මගේ පියාත් 80 වර්ජකයෙක්. නැවත රැකියාව හම්බවුනෙත් නැහැ. J R ඒකාලේ ඒකාධිපති චරිතයක් රඟපෑවේ. සෑහෙන පිරිසක් සියදිවි නසාගත්තා. මාසේ පඩියෙන් ජිවත්වෙච්ච මිනිස්සු අසරණ වුණා.
      ප්‍රංශයත් අනෙකුත් යුරෝපීය සහ රුසියානු රටවල් වගේම සාහිත්‍ය කලාව දර්ශනය වගේ විෂයයන්ගෙන් පොහොසත්. 15වෙනි සියවසයේ ඉදන් පුනරුද සමය වෙද්දී යුරෝපය හැම අතින්ම ඉහලට එද්දී ආසියාවේ අපි නැවතුනා වගේ තමයි දැනෙන්නේ.

      Delete