ලෝකය පුරාම ක්‍රිස්ටෝපර් නොලන් නිර්මනයකරනලද The Odyssey චිත්‍රපටිය ප්‍රදර්ශනය වෙනවා.මුල් කාලයේ මේ චිත්‍රපටිය නරඹන්න ආසනයක් වෙන්කරගන්න එකත් අමාරුදෙයක්. ටිකක් විතර සැර බාල වෙන්න ඇරලා පිටිපස්සේ පේළියක IMAX අත්දැකීම ගන්න මට පුළුවන්වුනා.
1. The Odyssey පරණ ලෝකය අලුත්ම කැමරාවකින්
අපේ සිනමාවේදියා මේ පැරණි ලෝකය තිරයට ගෙනාවෙත් සාමාන්‍ය විදිහට නෙවෙයි. The Odyssey සම්පූර්ණයෙන්ම IMAX කැමරාවලින්කළ පළමු full-length theatrical release එක. නෝලන් සමඟ වැඩ කරන්න IMAX නව කැමරා සහ ශබ්ද තාක්ෂණයක් දියුණු කළා.
මේ චිත්‍රපටිය සාමාන්‍ය IMAX screen එකක පෙන්වන version එකක් නෙමෙයි. 15-perforation 70mm IMAX film projection එකෙන් එහි සම්පූර්ණ 1.43:1 රූපරාමුව IMAX 70mm film projection එකෙන් අත්විඳින්න පුළුවන් වුණේ ලෝකයේ IMAX ශාලා 41ක පමණයි.ඇමෙරිකාවේ කැනඩාවේ ප්‍රංශයේ London , Melbourne , Brussels සහ Prague වගේ තැන් ඒ සීමිත list එකේ තිබුණා. සිංගප්පුරුවෙවත් මෙහෙම ශාලාවක් නැහැ. සිංගප්පූරුවේ පොඩි වෙනසක් එක්ක 35mm චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරනවා. ඒ හැර ආසියාවේ වෙන කිසිම තැනක මේ අත්දැකීම් ලබාගන්න බැහැ
හැබැයි නෝලන් වෙනස් කළේ සිනමාත්මක අත්දැකීම විතරක් නම් මේ චිත්‍රපටිය ගැන මෙච්චර කතා කරන්න දෙයක් නැහැ.
ඔහු කරන ගැඹුරුම වෙනස Odysseusගේ මනස තුළ ඇතිකරන වෙනස.
ඒ ප්‍රශ්නයට යන්න කලින් Odysseus ජීවත් වුණා කියලා Homer අපිට පෙන්වන ලෝකය මොන වගේද කියලා තේරුම් ගන්න ඕන.
2. Trojan වීරයන්ගේ ලෝකය
ට්‍රෝජන් යුද්ධය ඇත්තටම සිද්ධ වුණා නම් එය සාමාන්‍යයෙන් තබන්නේ ක්‍රිස්තු පූර්ව 1200ට ආසන්න කාලයක, අදින් අවුරුදු තුන්දහසකටත් එහා. Homer මේ කතා මහා කාව්‍ය ලෙස ගොඩනගන්නේ ඊට සියවස් කිහිපයකට පස්සේ. ඒ නිසා Iliad සහ Odyssey කියන්නේ ලෝකඩ යුගයේ ලෝකය එලෙසම අරගෙන තැබූ ඉතිහාස වාර්තාවක් නෙවෙයි. එහෙත් ඒවා තුළ පැරණි වීර සමාජයක මතකයන්, වටිනාකම් සහ සමාජ සම්බන්ධතා ගොඩක් රැඳිලා තියෙනවා.
ඔහුගේ ආරක්ෂාව තිබුණේ පවුල, ගෘහය, රජු, රණශූර කණ්ඩායම සහ මිත්‍ර පාක්ෂිකයන් අතර. තමන් කවුද කියන එකත් තනි පුද්ගල අනන්‍යතාවයක් විතරක් නෙවෙයි. කාගේ පුතාද, කාගේ ස්වාමියාද, කොච්චර ඉඩම් සහ ධනය තියෙනවාද, යුද්ධයකදී කොච්චර ගෞරවයක් ලබාගෙන තියෙනවාද කියන දේවල් ඔහුගේ අනන්‍යතාවයේම කොටස්.
ඒ නිසා ඒ ලෝකයේ මිනිසා කෑම සහ ආරක්ෂාව වගේ මූලික අවශ්‍යතා වලින් එහාට ගිහින් තිබුණත්, ඔහු සොයන තෘප්තියත් අපේ එක වගේ නෙවෙයි. බලය, අයිතිභාවය, ආඩම්බරය, පිළිගැනීම සහ තමන්ගේ නම මරණයෙන් පස්සෙත් ඉතුරු වීම ඉතා වැදගත්. Achillesට දිගු සාමාන්‍ය ජීවිතයකට වඩා කෙටි නමුත් කීර්තියෙන් පිරුණු ජීවිතයක් තෝරන්න පුළුවන් වෙන්නේ ඒ නිසා. ඒ ලෝකයේ නම සහ ගෞරවය සමහරවිට ජීවිතයටත් වඩා වටිනා දෙයක්.
3. ට්‍රෝජන් ලෝකයේ සදාචාරය
එදා මිනිසුන්ට හොඳ සහ නරක ගැන අදහස් තිබුණා. නමුත් ඒ සදාචාරය අද අපි සාමාන්‍යයෙන් හඳුනාගන්න සදාචාරයට සමාන නැහැ. අද හොඳ මිනිසෙක් ගැන අපි හිතනකොට කරුණාව, සාධාරණත්වය, අනවශ්‍ය ප්‍රචණ්ඩත්වයෙන් වැළකීම, අනිත් මිනිසාගේ දුක ගැන සැලකිලිමත් වීම සහ තමන්ගේ ක්‍රියාවන්ට පුද්ගලික වගකීම භාරගැනීම වගේ දේවල් ඉස්සරහට එනවා. Homerගේ වීර ලෝකයේ නිර්භීතකම, පක්ෂපාතීත්වය, ගෞරවය, ආගන්තුක සත්කාරය, පවුල, පළිගැනීම, සමාජ තත්ත්වය සහ කීර්තියට වැඩි බරක් තිබුණා.
Cyclops කතාව මේ වෙනස හොඳටම පෙන්වනවා. Odysseus Polyphemusගෙන් බේරෙන්න තමන්ගේ නම “Nobody” කියලා කියනවා. ඒක ඔහුගේ අසාමාන්‍ය බුද්ධිය. ආරක්ෂිතව බේරිලා යන වෙලාවේ දිවි රැකගැනීම ගැන විතරක් හිතන මිනිහෙක් නම් කට වහගෙන යන්න ඕන. හැබැයි Odysseusට ඒක කරන්න බැහැ. ඔහු තමන්ගේ සැබෑ නම කියනවා. තමන් කළ විශාල වීර ක්‍රියාව තමන්ගේ නමටම ලැබෙන්න ඕන.
අද අපි ඒක අහංකාරය කියලා හඳුන්වන්න පුළුවන්. Homerගේ ලෝකයේ ඒක අහංකාරය විතරක් නෙවෙයි. තමන්ගේ නම සහ කීර්තියට සැබෑ සමාජ වටිනාකමක් තිබුණා. ඔහු කළ දේ වෙන කෙනෙකුගේ නමට ගියා නම් ඒ ජයග්‍රහණයේ වැදගත් කොටසක් ඔහුට නැති වෙනවා. Homerගේ Odysseus බුද්ධිමත් වගේම ආඩම්බරයි. ඒ දෙක අතර ගැටුම Homerට ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඔහුගේ වීර ස්වභාවයේම කොටසක්.
පළිගැනීමත් එහෙමයි. Odysseus ගෙදර ඇවිත් Penelopeව විවාහ කරගන්න බලාගෙන සිටින පිරිස මරනකොට Homerගේ ලෝකයේ ප්රශ්නය වෙනස්. මේ මිනිසුන් ඔහුගේ ගෘහය අල්ලාගෙන, ධනය විනාශ කරමින්, Penelopeව විවාහ කරගන්න උත්සාහ කරමින්, Telemachusගේ අනාගතයට තර්ජනය කරමින්, Odysseusගේ බලය සහ ගෞරවයම පාගලා තියෙනවා. ඔවුන්ව නැති කිරීම ප්රචණ්ඩත්වයක් විතරක් නෙවෙයි. ඒ ලෝකයේ දෘෂ්ටියෙන් ඒක ගෘහය සහ බලය නැවත පිහිටුවීමක්.
ඒ නිසා එදා සදාචාරය පුද්ගලයාගේ ඇතුළත හෘදසාක්ෂියක් වටා ගොඩනැගුණු නූතන සදාචාරයක් නොවෙයි. “මම ඇතුළෙන් හොඳ මිනිහෙක්ද?” කියන ප්‍රශ්නයට වඩා “මම මගේ තැනට අදාළ යුතුකම, ගෞරවය සහ පක්ෂපාතීත්වය රැකගත්තාද?” කියන ප්රශ්නය වැදගත්.
4. Homerගේ දෙවිවරු
මේ වෙනස මිනිසුන්ට විතරක් සීමා වෙන්නේ නැහැ. Homerගේ දෙවිවරු පවා අද අපිට හුරු පරිපූර්ණ සදාචාරයේ ප්‍රතිමූර්ති නෙවෙයි. මිනිස් ආශාවන් සහ සබඳතා අතරට මැදිහත් වෙනවා. දෙවිවරු එකිනෙකා සමඟ රණ්ඩු වෙනවා, පක්ෂ ගන්නවා, තමන් කැමති අය තෝරනවා, රවටනවා, දඬුවම් කරනවා.
ඒ නිසා Poseidon Odysseusට දඬුවම් කරනවා කියන්නේ “Odysseus සදාචාරාත්මකව වැරදියි, ඒ නිසා පරිපූර්ණ යුක්තිය ඔහුට දඬුවම් කළා” කියන අදහසක් නෙවෙයි. වැඩියෙන්ම, “ඔබ බලවත් දෙවියෙකුගේ පුතාට හානි කළා; දැන් ඒ දෙවියා ඔබේ සතුරා” කියන තර්කයයි. Homerගේ මිනිසාට තමන්ට වෙච්ච හැම විපතක්ම අද අපි කරන විදිහට තමන්ගේ ඇතුළත වරදකාරී හැඟීමෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. දෙවිවරු, දෛවය, සතුරන්, වැරදි තීරණ සහ සමාජ වගකීම් එකට එකතු වෙලා ඔහුගේ ලෝකය පැහැදිලි කරනවා.
5. ඒ කාලයේ අනෙක් ලෝකය සහ පසුව සිදු වූ වෙනස
Odysseus Troy සිට ගෙදර යනවා කියලා අපි සිතන ක්‍රිස්තු පූර්ව 1200ට ආසන්න කාලයේ ග්‍රීසිය විතරක් නෙවෙයි, ලෝකයේ අනෙක් ප්‍රදේශත් අද අපට හුරු ලෝකයට වඩා බොහෝ වෙනස්. Egypt ඒ වෙලාවේත් ඉතා පැරණි සහ දියුණු රාජ්‍යයක්. Pharaoh යටතේ විශාල පාලන යන්ත්‍රයක්, ලිවීම, හමුදා, දේවාල සහ වෙළඳාම තිබුණා. චීනයේ Shang රාජවංශයට ලිවීම, දියුණු ලෝහ කර්මාන්තය සහ හමුදා තිබුණා. රජවරු යුද්ධය, අස්වැන්න සහ අනාගතය ගැන මුතුන්මිත්තන් සහ දේව බලයන්ගෙන් පිළිතුරු සොයමින් oracle bones මත ඒවා සටහන් කළා. තාක්ෂණයෙන් සහ පාලනයෙන් මේ සමාජ ඉතා දියුණු වුණත්, ඒවාත් රජු, දෙවිවරු, වංශය, බලය සහ ආගමික පිළිවෙළ වටා ගොඩනැගුණු ලෝක.
ඉන්දියාවේ උතුරු ප්‍රදේශ මේ වෙලාවේ මුල් වේද (Vedic) ලෝකයට යමින් තිබුණා.
මේ කාලයට ශ්‍රී ලංකාව ප්රාග්-ඓතිහාසික යකඩ යුගයට ඇතුළු වෙමින් තිබුණු සමාජයක්.
ඊළඟ සියවස් ගණන තුළ ලෝකය වෙනස් වෙනවා. නගර සහ රාජ්‍ය විශාල වෙනවා, නීති වර්ධනය වෙනවා, මිනිසා තමන්ගේ පවුල සහ ගෝත්‍රයෙන් පිට මිනිසුන් එක්ක වැඩි වශයෙන් ජීවත් වෙනවා. ඒ සමඟ හරි වැරදි ගැන අහන ප්‍රශ්නත් වෙනස් වෙනවා. ඉන්දියාවේ බුදු දහම සහ ජෛන දහම ද්වේෂය, තෘෂ්ණාව, දුක, අහිංසාව සහ පුද්ගල ක්රියාවේ ප්‍රතිඵල ගැන අලුත් බරක් දෙනවා. චීනයේ Confucius හොඳ පාලකයා සහ නිසි හැසිරීම ගැන කතා කරනවා. ග්‍රීසියේ Socrates, Plato සහ Aristotle “බලවත් මිනිසා කවුද?” කියන එකෙන් එහාට “හොඳ මිනිසා කවුද?” කියලා අහනවා. පසුව යුදෙව් හා ක්‍රිස්තියානි සම්ප්‍රදායන් පව්, පසුතැවීම, සමාව, හෘදසාක්ෂිය සහ මිදීම තවත් බලවත් කරනවා.
මේ හැමදේම එක දවසක සිද්ධ වුණේ නැහැ. නමුත් දිගු ගමනකදී ගෞරවය, පළිගැනීම සහ කීර්තිය මධ්‍යයේ සිටි මිනිසාගෙන්, තමන් කළ දේ තමන්ගේම ඇතුළත විනිශ්චය කරන මිනිසා දක්වා සමාජය ගමන් කළා. මේක ජීව විද්‍යාත්මක පරිණාමයක් නෙවෙයි. මේක සමාජ, ආගමික සහ මානසික පරිණාමයක්.
6. ඒ දිග ගමනෙන් පස්සේ හොමර්ට නෝලන්ව හමුවෙනවා.
නෝලන්ගේ පරණ චිත්‍රපට බැලුවොත් ඔහුගේ Odysseus කොහෙන් ආවාද කියන එක තේරෙනවා. නෝලන් සිනමා අදහස් අමුතුයි. සිහින, අභ්‍යවකාශය, කාලය, න්‍යෂ්ටික භෞතික විද්‍යාව, අපරාධ සහ යුද්ධය ඔහුගේ චිත්‍රපටවල පසුබිම්. හැබැයි ඒ හැම විශාල කතාවක් ඇතුළේම මිනිසා තමන්ගේ මතකය, වරදකාරී හැඟීම, තීරණ සහ වගකීම එක්ක කරන පුද්ගලික සටනක් තියෙනවා.
Inception එකේ Cobbගේ සැබෑ ප්රශ්නය සිහින තාක්ෂණය නෙවෙයි; Mal ගැන තියෙන වරදකාරී හැඟීම. Interstellar එකේ Cooperගේ සැබෑ වේදනාව අභ්‍යවකාශය නෙවෙයි; තමන්ගේ දරුවන්ව දාලා ගිය පියෙකුගේ ආදරය සහ අහිමිවීම. Memento එකේ ප්රශ්නය මතකය නැතිවීම විතරක් නෙවෙයි; මිනිසා තමන්ටම කතාවක් හදාගෙන අනන්‍යතාවයක් ගොඩනගන්නේ කොහොමද කියන එක.
මේ හැම එකකටම වඩා Oppenheimer අපේ කතාවට ළඟයි. පරමාණු බෝම්බය Oppenheimerගේ අතිවිශිෂ්ට බුද්ධිමය ජයග්‍රහණයක්. නමුත් Nolan ඒ ජයග්‍රහණය සමරලා නතර වෙන්නේ නැහැ. “මම හදපු දේ ලෝකයට කළේ මොකක්ද?” කියන ප්රශ්නය ඔහු ඒ ජයග්‍රහණයේ මධ්‍යයට ගෙන එනවා. ප්‍රතිභාව වගකීමක් වෙනවා. ජයග්‍රහණය වරදකාරී හැඟීමක් වෙනවා. සාර්ථකත්වය සදාචාරාත්මක බරක් වෙනවා.
මේ ආකාරයට නූතන මානවකයෙක් වන නෝලන් Odysseus අතට ගත්තමත් ඒම ප්‍රවණතාව වැඩ කරනවා. Homerගේ Trojan Horse Odysseusගේ උපක්‍රමශීලී බුද්ධියේ සංකේතයක්. Nolanට ඒක බලලා ඇතිවෙන ප්රශ්නය වෙනස්. මේ විශිෂ්ට සැලැස්ම නිසා නගරයක් විනාශ වුණා නම්, ඒ සැලැස්ම හදපු මිනිසා පස්සේ ඒ මතකයත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද? මෙතනින් Homerගේ වීරයා Nolanගේ වරදකාරී හැඟීම, මතකය සහ මිදීම සොයන මිනිසා බවට සෙමින් වෙනස් වෙනවා.
7. Nolan Homerගේ කතාව දැනුවත්ව වෙනස් කරන තැන්
| Homerගේ මුල් කතාව | Nolan කරන වෙනස | Nolanට ලැබෙන නූතන අර්ථය |
|---|---|---|
| Cyclops කතාවේ “Nobody” උපක්‍රමය Odysseusගේ බුද්ධිය, රැවටීම, ආඩම්බරය සහ තමන්ගේ නම ප්‍රසිද්ධ කිරීමේ ආශාව පෙන්වන ප්‍රධාන කොටසක්. | Nolan මේ කොටස බොහෝ දුරට අඩු කරනවා. | Homerගේ කීර්තිය සහ ආඩම්බරය පස්සට ගිහින්, Nolanගේ යුද්ධයෙන් මානසිකව කැළැල් ලැබූ මිනිසා ඉස්සරහට එනවා. |
| Trojan Horse Homerගේ Odysseusගේ උපක්‍රමශීලී බුද්ධියේ ජයග්‍රහණයක්. | Nolan Troy විනාශය Odysseusගේ මතකයට බැඳනවා. | ජයග්‍රහණය → වගකීම → වරදකාරී හැඟීම බවට පත් වෙනවා. |
| Homerගේ Odysseus බොරු කියන, වෙස් මාරු කරන, රවටන උපක්‍රමශීලී වීරයෙක්. | Nolan මේ trickster ස්වභාවය අඩු කරනවා. | උපක්‍රමශීලී බව වීර ගුණයක් විතරක් නොව සදාචාර දෙයක් වෙනවා. |
| Circe සමඟ Odysseus පෙම් සහ ලිංගික සම්බන්ධතාවයක ඉන්නවා. | Nolan ඒ සම්බන්ධය ඉවත් හෝ දැඩි ලෙස අඩු කරනවා. | Odysseus නූතන audience එකට විවාහයට පක්ෂපාතී සැමියෙක් වගේ පෙනෙනවා. |
| Calypso Odysseusව තමන් ළඟ තබාගෙන අමරණීයත්වය පවා ලබාදෙන්න උත්සාහ කරනවා. | Nolan ඒ අත්දැකීම වේදනාකාරී මතක මඳකරන සහ අමතක කරවන තැනක් වගේ හදනවා. | ආකර්ෂණය සහ රඳවා තබාගැනීම → මතකයෙන් පලායෑම සහ මානසික වේදනාව බවට පත් වෙනවා. |
| Homerගේ දෙවිවරු ස්වාධීන බලවේග ලෙස මිනිස් ජීවිතයට සෘජුවම මැදිහත් වෙනවා. | Nolan දෙවිවරුන්ගේ සෘජු බලපෑම අඩු කරනවා. | දෛවය සහ දෙවි බලය පස්සට ගිහින් පුද්ගලික තීරණ සහ වගකීම ඉස්සරහට එනවා. |
| පාතාල ලෝකයේ මියගිය අයට තමන්ගේම කතා සහ ගැටලු තියෙනවා. | Nolan ඔවුන් Odysseusගේ අතීතය, මියගිය සෙබළුන් සහ පුද්ගලික වගකීම සමඟ තදින් සම්බන්ධ කරනවා. | පාතාල ලෝකය මියගිය අයගේ ලෝකයක් විතරක් නොව හෘදසාක්ෂිය සහ මතකය තමන්ට ආපහු මුහුණ දෙන තැනක් වෙනවා. |
| Homerගේ ද්‍රෝහීන්ට දෙන දඬුවම් කුරිරු සහ සමාජ පිළිවෙළ නැවත පිහිටුවන ක්‍රියාවක්. | Nolan සමූහ දඬුවම අඩු කර පුද්ගලික වරද වැඩිපුර පෙන්වනවා. | ගෘහ පිළිවෙළ සහ පළිගැනීම → පුද්ගලික වරද සහ සදාචාර වගකීම බවට මාරු වෙනවා. |
| Penelopeගේ පක්ෂපාතීත්වය ආදරයට අමතරව ගෘහය, වංශය, Telemachusගේ අනාගතය සහ සමාජ පිළිවෙළ සමඟ බැඳී තියෙනවා. | Nolan සැමියා සහ බිරිඳ අතර හැඟීම්මය බැඳීම වැඩි කරනවා. | ගෘහ සහ වංශ වගකීම → නූතන ආදර සහ විවාහ සම්බන්ධතාවය බවට හැරෙනවා. |
| Homerගේ අවසානයේ Odysseus ගෘහය, බිරිඳ සහ රාජ බලය නැවත ලබාගන්නවා. | Nolan ඔහුව බලය ලබාගැනීමේදී නතර නොකර සාමය, මිදීම සහ අතීතය සමඟ ගනුදෙනු කරන මිනිසෙක් කරනවා. | ලෝකය නැවත පිළිවෙළට ගෙන ඒම → බිඳුණු මිනිසා ඇතුළින් සුවපත් කිරීම බවට අවසානය මාරු වෙනවා. |
මෙතන Nolan Homerගේ කතාව කෙටි කරනවා විතරක් නෙවෙයි. තමන්ට අවශ්‍ය සදාචාරාත්මක සහ මානසික Odysseus ගොඩනගන්න Homerගේ කතාවේ සමහර කොටස් අඩු කරනවා, සමහර කොටස් වෙනස් කරනවා, තවත් කොටස්වල අර්ථයම වෙනත් පැත්තකට ගෙන යනවා.
මේ වෙනස්කම් එකින් එක බැලුවොත් සාමාන්‍ය සිනමා වෙනස්කම් වගේ පේන්න පුළුවන්. හැබැයි එකට බැලුවම එකම දිශාවකට යන පැහැදිලි රටාවක් තියෙනවා. ආඩම්බරය, කීර්තිය, රැවටීම, ලිංගික නිදහස, දෙවිවරුන්ගේ බලය සහ පළිගැනීම ටිකක් පස්සට යනවා. ඒ වෙනුවට මතකය, වරදකාරී හැඟීම, පුද්ගලික වගකීම, විවාහ ආදරය, හෘදසාක්ෂිය සහ මිදීම ඉස්සරහට එනවා.
මෙතන තමයි නෝලන්ගේ ඔඩිසිය ගැන තියෙන ප්‍රධාන විවේචනය.
Nolan Homerගේ කතාව අද භාෂාවෙන් පැහැදිලි කරනවා විතරක් නෙවෙයි. ඔහු Homerගේ ලෝකයේ මධ්‍යයේ නොතිබුණු නූතන වරදකාරී හැඟීම, පුද්ගලික හෘදසාක්ෂිය, යුද්ධයෙන් ඇතිවන මානසික තුවාල සහ මිදීමේ අවශ්‍යතාව Odysseusගේ මනස ඇතුළට දානවා.
Homerගේ Odysseus තමන් කළ Trojan Horse උපක්‍රමය ගැන “මේ නගරයේ මියගිය මිනිසුන්ගේ බර මම ජීවිත කාලයම ගෙනියන්න ඕන” කියන නූතන guilt එකක් මත ජීවත් වන මිනිසෙක් නෙවෙයි. ඔහුගේ ලෝකයේ එය බුද්ධිය, යුද්ධ ජයග්‍රහණය සහ කීර්තියේ කොටසක්. අද අපි හුරු “මම කළ දේ නිසා මගේ මනස බිඳී ගියාද?”, “මට සමාව ඕනද?”, “මම බලය අතහැරලා ඇතුළත සාමය හොයාගන්න ඕනද?” කියන ප්‍රශ්න ඒ පුරාණ වීර ලෝකයේ මධ්‍යයේ තිබුණේ නැහැ.
ඒ නිසා මට පේන්නේ Nolan පුරාණ මිනිසාව තේරුම් ගන්නවාට වඩා, පුරාණ මිනිසාට අපේ කාලයේ මනසක් දානවා කියන එකයි. ඒක කරන්න ඔහුට Homerව වෙනස් කරන්නත් වෙනවා.
මේවා එක දෙකක් වෙන්වූ සිනමා වෙනස්කම් නෙවෙයි. මේවා Homerගේ පුරාණ රණශූරයා Nolanගේ නූතන සදාචාර මනසක් තියෙන මිනිසෙක් බවට පත් කරන එකම ගමනේ කොටස්.
ඒක මට නම් historical සහ psychological mismatch එකක්.
පුරාණ මිනිසාව අද ප්‍රේක්ෂකයාට තේරුම් ගන්න පහසු කරන එක එක දෙයක්. නමුත් ඒ කාලයේ මිනිසාගේ සමාජ සහ සදාචාර මනසම වෙනස් කරලා, පසුව සියවස් ගණනක ආගමික, දාර්ශනික සහ සමාජ පරිණාමයෙන් බිහිවුණු guilt, conscience සහ redemption ඒ මනසට දාන එක වෙන දෙයක්.
එතනදී අපි Homerගේ පුරාණ රණශූරයා තේරුම් ගන්නේ නැහැ.
අපි රණශූරයා අපි වගේ කරගන්නවා.
Nolanගේ චිත්‍රපටයක් ලෙස ඒක ඉතා හොඳින් වැඩ කරන්න පුළුවන්. පුදුමය තියෙන්නේ ඒ මනස Homerගේ Odysseusගේ මනස ලෙස අපි පිළිගන්නවාද කියන තැන.
Homerගේ Odysseus ගෙදර එන්නේ තමන්ගේ ගෘහය, බිරිඳ, පුතා, නම සහ බලය නැවත ලබාගන්න. Nolanගේ Odysseus ගෙදර එන්නේ තමන්ගේම අතීතය, මතකය සහ guilt එකෙන් යම් සාමයක් හොයාගන්න.
මේ දෙක එකම මනස නෙවෙයි.
ඒ තරම් විශාල මානසික සහ සදාචාර වෙනසක් තියෙන චිත්‍රපටයක් ගැන කතා කරද්දී තවමත් මහජන කතාබහේ ලොකු ප්‍රශ්නයක් “Helen කළුද?” කියන එක වීම මට නම් හරිම පුදුමයි. Helenගේ නිළි තේරීම ගැන ඉතිහාසමය නිවැරදිභාවය හෝ කලාත්මක නිදහස පැත්තෙන් කතා කරන්න පුළුවන්. හැබැයි Nolan Homerගෙන් කරපු ලොකුම වෙනස ඒක නෙවෙයි.
ඔහු Homerගේ චරිතයක සමේ පාට වෙනස් කළාද කියන එකට වඩා බොහෝ ලොකු දෙයක් කරලා තියෙනවා.
ඔහු Homerගේ Odysseusගේ මනසම නූතන මිනිසෙකුගේ මනසක් බවට පත් කරලා තියෙනවා.
නිහඬ මට නම් The Odyssey ගැන තියෙන සැබෑ විවාදය ඒකයි.
ඉතා බරපතල කියවීමක නියැළී
ReplyDeleteමනා ලෙසින් ගලපාලා පද පේළී
ලියා තියෙන ලිපියකි- අගතියෙ නෑලී
ඔයා නිහඬ, වෙහෙසී ඇත නොවී මැලි
කියෙව්වා. බරපතල, දීර්ඝ ලිපියක්. හ්ම්.......🤔👌
ReplyDelete