Saturday, July 26, 2025

අනාවැකිය 1

 



කාලෙන් කාලෙට අනාවැකි කරුවෝ බිහිවෙනවා. ලෝක මට්ටමේ බබා වැන්ග සහ නොස්ට්‍රඩමුස්    ( Baba Vanga and Nostradamus) කියලා දෙන්නෙක් හැම අවුරුද්දක්ම ජනවාරි මාසයේ හොල්මන් කරනවා. ලෝකේ කොහේ හරි යුද්දයක් එහෙම නැතිනම් ස්වාභාවික විපතක් උනොත් ඔන්න ඔය දෙන්න ඕක වේලාසනම කියලා  තිබ්බ කියලා නටනවා. ලංකාවෙත් අඩුවැඩි වශයෙන් ඔහොම අනාවැකි කාරයෝ ඉන්නවා. සිංහල බෞද්ධ සමාජය විතරක් නෙමෙයි ජෙරමි කියලා කියන පාදිලි උන්නාන්සේත් ඕවට ප්‍රසිද්ධයි.අනාවැකි කාරයෝ සාස්තර කාරයෝ ඉන්නේ ආසියාතික පසුගාමී සමාජවල විතරක් නෙමෙයි.

 

මිනිසාට පාලනය කරගන්න බැරි අනාගතයක් නිසා ඊළඟ වෙන්න තියනදේ ගැන හොයාගන යනවා. විද්‍යාත්මකවත් කාලගුණේ ඉදලා මැතවරණ ප්‍රථිපල ගැනත් අනාවැකි කියනවා. එව්වත් මොන ගණිත මිණිත සුත්‍ර දැම්මත් වරදිනවා.ඊට අමතරව science fiction  කියන්නෙත් එක්තරා ආකාරයක අනාවැකි.  Arthur C Clarke කියන්නේ අනාගත ආශ්චර්යයන් ගැන හීන දැකපු කෙනෙක්.එහෙම වැරදුනහම අපි හිනාවෙන්නේ නැහැ.සමච්චල් කරන්නේ නැහැ.

 

විද්‍යාත්මක වගේම අනෙකුත් කේෂ්ත්‍ර වලත් හොරු බොරු කාරයෝ අනාවැකි කියනවා.ආසියාතික විද්‍යාවන් ඔප්පු කරගන්න අමාරු නිසාත් ඒවායේ තියන ඉන්ද්‍රජාලික ස්වභාවය නිසාත් හොරු බොරු කාරයෝ වැහිවැහිලා.

 

මේ කියන පෙරදිග අනාවැකි බහුලවම පුද්ගල කේන්ද්‍රීය ඒවා.

 

මම අවුරුදු දහතුනක් විතර කාලයේදී තමයි කොවුර් ගේ දෙවියෝ සහ භූතයෝ කියන පොත කියෙව්වේ. ඒවුනත් තරුණ වයස වෙද්දීම දැඩි භෞතිකවාදී දැක්ම මට නැතිවුණාකේන්දර වගේ දේවල් පස්සේ යන එක නම් අඩුයි.

 

දැන් අවුරුද්දක වගේ ඉඳලා අපේ බිරින්දෑ එකපාරටම අනාවැකි කාරයෝ ටිකක් පස්සේ යන්න ගත්තා. මමත් එයා පිටිපස්සේ ටිකක් ඉන්නවා මොකද ඔය නෝනා ඔයවගේ ඒවාට ගියහම තමන්ගේ මොලයේ තියන STOP, PAUSE, ENOUGH කියන බොත්තම් ටික අමතක කරනවා. මම ඉන්නේ ඕවා මතක්කරලා දෙන්න. මගේ නව යොවුන් දියණියත් මේකට සෙට් වුණා. ඒගොල්ලෝ මතුපිටින් කිව්වේ ඇත්ත නැත්ත බලන්න යනවා කියලා. ඇත්තටමත්  එහෙම වෙන්න ඇති. මොකද අනාගතය ගැන මහා භයානක තත්වයක් නැහැ. ඔය හැමෝටම තියන අවිනිශ්චිතතාවය නම් තියනවා.

 

ඔන්න ඔහොම තමයි අපිත්, ළඟම  හිත මිත්‍ර පිරිසකුත්, නාඩි වාක්‍යම් බලන්න යොමුවුණේ. අපි හැමෝම COLD  READING කියන එක ගැන හොදින් දන්නවා. ඒක  නිසා සුදානමින් තමයි ගියේ.

                  


සතියේ දවසක කොළඹ ඉන්නකොට උදෙන්ම ඇහැරිලා 7.30 විතර වෙනකොට බම්බලපිටියේ හරස්පාරක තියන නාඩි කියන ස්ථානය හොයාගෙන අපි ගියා. කිසිම පේවිමක් සුදානමක් නැහැ. කේන්දර වල ඩිජිටල් කොපියක් තිබුනා. එකපාරටම හදුනාගන්න අපහසු පරණ ගොඩනැගිල්ලක කුඩා දොරකින් ඇතුළු වෙලා පඩි පේලියක් නැගල පටු කොරිඩෝවකට ඇතුල්වුණා. අම්මෝ එතකොටත් සෑහෙන  පිරිසක් එතන. සිංහල වගේම දෙමළ  පෙනුම තියන අයත් හිටියා. දිගට ප්ලාස්ටික් පුටු දාලා තිබුනා. පුටුවක කෙනෙක් වාඩි  උනහම යන්තම් තව කෙනෙකුට ඉස්සරහින් යන්න පුළුවන්. මම හිතන්නේ 100ක් විතර ඉන්න ඇති.

 

මුලින් කිව්වා වගේම cold reading වලට අහුවෙයි කියලා හිතපු නිසා අපි එතන හිටපු කිසිම කෙනෙක් එක්ක කතා කරේ නැහැ. තියා අපි තුන්දෙනා වත් එකිනෙකාට කතාකරේ නැහැ. මෙතැනදී විශේෂම දේ තමයි අපි සමාජ මාධ්‍ය  වන face book ඉන්ස්ටග්රම්වගේ ඒවා පාවිච්චි කරන්නේ නැතිවීම. ඔය මගුල් අපි අයින්  කරලා දැම්මේ දැන් අවුරුදු 10කට විතර ඉස්සර. අලුතින් අපේ දුවවත් එවැනි account පාවිච්චියක් නැහැ.

උදේ 8 විතර වෙනකොට පෝලිම හෙමින් එකා දෙන්නා කොරිඩෝවේ කෙලවර පොඩි තට්ටු නිවාසයක සාලයක් වගේ කෑල්ලකට  ඇතුළුවුනා . හින්දු දේව රූප  තිබුනත් කෝවිලක ස්වභාවයක් තිබුනේ නැහැ. පාවහන් නම් ගලවලා තමයි ඇතුල්වුනේ.ඒක  ඉතින් අපි ගෙදරකට ගියත් කරනවනේ.එතන මේසයක් ළඟ කොළ  කෑලි තිබ්බා අපට වුනේ කොළ මත ඇගිළි  සලකුණු තියන්නේ . පිරිමි කෙනෙක් නම් දකුණු අතෙත් ගැහැණු නම් වම අතෙත් මහපට ඇඟිලි සලකුණු කරන්න  කියලා උපදෙස් දුන්නා. එක්කම උපන්දිනය දින මාස වර්ෂ වශයෙන් සටහන් කරගත්තා. මතක හැටියට කොළ දෙකක.

 

ඕකෙන් පස්සේ අයෙත් වාඩිවෙලා  පැය  භාගයකට විතර පස්සේ දෙමළ  හෝ මලයාලම් කියලා කියන්ඩ පුළුවන් මහත්තයෙක් උපන් දින කතා කරා . එහෙම තමන්ගේ උපන්දිනය කථා කරහම අර කොලයක් අපිට ආපහු දෙනවා. එකේ එන්න ඕනේ වෙලාව සටහන් කරලා. අපේ නෝනට 10.30 උන්දැට බෝම සතුටුයි. මගේ නාඩි නැහැ. කොළයේ  මාස තුනකට විතර පස්සේ දිනයක් සටහන් කරලා. කිව්ව විදිහට මගේ පත් ඉරුව ඉන්දියාවේ ප්‍රධාන කෝවිලේ තමයි තියෙන්නේ. ගේන්න මාස තුනක් යනවා. හ්ම්ම් සාධාරනයි. අපේ දියණිය මෙතැන දැවටෙන්නේ භෞතිකවාදිනියක් විදිහට. එයා අම්ම අප්පච්චිගේ සුළු හෝ අතපසුවීමක් වෙන්න පුලුවන්ද කියලා නිරීක්ෂණය කරනවා.

 

ඔහොම කරලා අපි උදේට කන්න ගියා. ළඟ පාත කන්න තැනක් තිබුනේ නැහැ. ටිකක් ඈතක majestic  city හරියෙන් තෝස  කාලා 10.30 වෙනකොට ආවත් තවත් පැයක්  විතර ගියා අපිව ගන්න. එතකන් මතකනේ නෝ කතා නෝ සිනා.

 

අනාවැකි කියන්න ඇතුළු වුනේ ඉතා කුඩා ටිකක් අඳුරු වායු සමීකරණය කරපු කාමරයකට. ඉන්දියානුවෙක් එතන වාඩිවෙලා  හිටියාසුදු ඇඳගෙන හිටියත් පුසාරී කෙනෙක්ගේ පෙනුම තිබ්බේ  නැහැ.ඊට  අමතරව translator එතන හිටගෙන ඔහු කලිසම් කමිස ඇඳගෙන.

 

අපි වාඩිවුණා. නාඩි කියවන්නා අපි දිහා එතරම් උවමනාවකින් බලුවෙනැහැ. ඔහු යොමුවෙලා හිටියේ ඔහු ඉදිරියේ තිබුන පුස්කොල පොත් කිහිපයකට.දැනටමත් ඔවුන් නාඩි  අහන්නේ ගැහැනියද  පිරිමියාද ඔහු හෝ ඇයගේ උපන්දිනය මොකක්ද කියන එක  දන්නවා. ඊට පස්සේ තමාගේ නම මවගේ නම හා පියාගේ නම කියන අවස්ථාව . මේක පොඩි filter එකක් වගේ හරි නම් හරි කියන්න කියලා කියාගෙන යනවා ( භාෂාව දෙමළ ? ) අතරමැද අපේ මුහුණු බලන ස්වභාවයක් නැහැ. අපේ නෝනා නිතරම භාවිතා කරන නම කියවුනහම අම්මත් තාත්තගෙත් නම් කියන්න පටන්ගත්තා. එහෙම නම් තුනක්ම හරි යන්න මේ trial  and  error  අවස්ථා 10 ක් විතර ගියා. (Name Dropping?) අපේ නෝනා කිව්වේ හරි නම් හරි කියලා විතරයි. අපේ භෞතිකවාදී දුවත් සාක්කියට හිටියා. ඔහොම 10වෙනි පත් ඉරුව හරියටම කිව්වම filter  කරන episode  එක ඉවරයි. ඉන් පස්සේ අර දෙන්න අර තෝරගත්ත පත් ඉරුවත් අරගෙන කාමරයෙන් එළියට  ගිහින් තවත් පුස්කොල පොතකුත් අරගෙන ආපි.මතක තියාගන්න අපි තවම නො කතා නො සිනා. මෙතනට එනකන් අය  මේක පටිගත කරන්නේ නැහැ. අපිට පටිගතකරගන්න බාධාවක්  නැහැ.

 

ඉන් පස්සේ තමයි හරි අනාවැකි පටන්ගන්නේ ටික පටිගත කරලා අපිට දෙනවා. පරණ බලපු අය  කිව්වේ CD  එකක් කියලා. වර්තමානයේ නම් pendrive එකකටත් එහෙම නැත්නම් whatsapp මාර්ගයෙනුත් ගෙන්න පුළුවන්. (තවම අපි දුරකථන අංකයක් දුන්නේ නැහැ ඒක  අවසානයට කරන දෙයක් )

 

නාඩි  වල පරිච්චේද තියනවා එයින් පළමුවන පරිච්චේදය හැමෝටම කියනවා. ඉතුරු ඒවායින් කීපයක් අපි තෝරා ගන්න ඕනේ

                 




මෙතන ඉදන් අපි කිසිදෙයක්  කතා කරන්න ඕනේ  නැහැ. ඔවුන් කියාගෙන යනවා. කේන්දරය කොටු රාශි ලග්න ටික ඔවුන් කියාගෙන යනවා. අපි ළඟ තියන    වනම් කේන්දරය හරිද කියලා cross  check  කරගන්න පුළුවන්.

 

පලවෙනි පරිච්චේදයේදී අපේ නෝනට හරි ගියපු ඒවා කිව්වොත්

තමන්ගේ නම, මව පියාගේ නම්, ස්වාමියාගේ නම, සහෝදරියන් හෝ සහෝදරයින් කීදෙනෙක් සිටිනවාද යන්න ,දරුවන් ගණන, ජීවත්වන්නේ ලංකාවෙන් පිටත බව, උගත් බව, උපාධියක්ද ඩිප්ලෝමාවක්ද යන්න ,   දැනට රැකියාව කරන බව හෝ නොකරන බව, දරුවන්ගේ අධ්‍යාපනය ,කොටින්ම කිව්වොත් රැකියාව පාර්ට් ටයිම් කියලත් කියපි. ඇගේ  අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් වගේම මගේ අධ්‍යාපනය සුදුසුකම් හා රැකියාවත් කිරිගහට කිව්වා කියලා කියන්න පුළුවන්. කේන්දරයත් හරියටම රාශි කොටු පිහිටවලා කිව්වා.

 අපේ බිරින්දෑ  තෝරාගත් තවත් පරිච්චේදයක් තමයි පෙර ආත්මය එකනම් අපිව හිනා ගැස්සුවා. උන්දැගේ  පෙරාත්මය  ගෙවිලා තියෙන්න ලංකාවේ පුත්තලම පැත්තේ කියලා තමයි කියවුනේ. එයා හිතාගෙන හිටියේ එයා ඉන්දියාවේ රූමත් කුළ  කාන්තාවක් කියල කියයි කියලා.

ඔන්න ඔය විදිහට නාඩි  වාක්‍යම් අපිව ටිකක්  විතර පුදුමයට පත්කරා. ඒක  හින්දම අපේ භෞතිකවාදී දුවත් මේක අහන්ඩ කැමැත්තක් ආවා.

 

අපේ පවුලේත් හිත්මිතුරන්ගේත් නාඩි පිලිබඳ අත්දැකීම් තවත් 15 පමණ තියනවා. ( මගේ නාඩියත් මේ මෑතකදී ඇහුව)

ඔය අත්දැකීමුත් , මේ ගැන නිහඬවම හොයලා බලපු දේවලුත් ටිකක් විමර්ශනාත්මකව තව ලිපියකින් කථා කරමු. එතකන් නාඩි හොයාගෙන යන්න කලබලවෙන්න එපා.දැනටමත් නාඩි අහලා තියනවනම් අදහස් බෙදා ගන්නවා නම් සතුටුයි.