Tuesday, July 15, 2025

 

රජරට රැජින

කෝච්චි ගැන මේදවස්වල හැමෝම කතාවෙනව. බිමල් සහෝදරයා කෝච්චියක ගිහින් කැමරාවකුත් අරගෙන. අඩුපාඩු ගොඩක් හොයාගෙන තිබ්බා. හරි පුදුමයි. පිඩිත පන්තියේ උන්නැහේ ප්‍රවාහන ඇමති වෙනකම්ම කෝච්චියේ අඩුපාඩු දන්නේ නැතුවාවද මන්දා.
අනුරාධපුරේ අපේ මතක, අපිව අගනුවරට සම්බන්දකල නූල, රජරට රැජින කියල තමා මට හිතෙන්නේ. උදේ 5.05 අනුරාධපුරෙන් නැග්ගම 10.30ට කොටුවෙන් බහිනවා. කොළඹ රජයේ ආයතනයකින් වැඩක් කරගන්න අය ඒ වැඩ කරගෙන හෝ නොගෙන ආයේ කොචිචියට දුවගෙන එනවා හවස 3 ට.

රෑ 8ට විතර අනුරාධපුරේට මේ කෝච්චිය එනවා. සමහරු කොළඹින් වෙළදාමට බඩු ගේනවා. මේ 80 90 දශකයේ කෝච්චිය. දැන් නම් මේක වෙනස්වෙලා ඇති.
මගේ මතකය මුලින්ම එන්නේ, රජයේ සේවකයෝ වෙච්ච අපේ දෙමව්පියෝ වොරන්ට් එහෙම නැත්නම් නිදහස් ගමන් බලපත් අරගෙන ගමේ ගිය හැටි. අපේ අම්මා කෑගල්ලේ. ඒ නිසා රැජිනේ ගිහින් පොල්ගහවෙලින් බැහැල යන එක තමා මතක. අම්මා මගදී කන්න පානුයි උණු බෝතලයක තේ එකයි හදාගෙන යනවා. ඒ දවස්වල කොචිචි කෑම අපි කෑවේ නෑ . ගණන් හින්දද සෞඛ්‍ය හින්දද කියල මම දන්නේ නෑ .

පස්සේ කාලයක කොළඹ ඉස්කෝලේ යන්න නිවාඩුව ඉවරවෙන දවසකට ඉස්සර රැජිනේ කොළඹ එනවා.සාමාන්‍යයෙන් අනුරාධපුරෙන් අපිට ඉදගන යන්න පුළුවන්.කෝච්චියට නැගල ටික වෙලාවකින් පොඩි නින්දක් යනවා. මහන්සියට. ඇයි උදේ 3.30 හතරට විතර නැගිටලා අපේ ගෙදර ඉදන් පැය භාගයක විතර දුරක් තියෙන නවනගර ස්ටේෂමට එන්න එපැයි . ඔය නින්ද ඇහැරෙන්නේ ගල් ගමුව ස්ටේෂම පහුවෙලා ඉර නැගගෙන එනකොට. ජනේල අයිනේ හිටියොත්, මුණට හිනීයට වතුර බිංදු පාරකුත් වැදෙනවා. සමහරවිට ඉස්සරහ කව්ලුවෙන් කවූරුහරි අතහොදන වතුර එහෙම නැත්තම් කෙලපාරක්ද දන්නෙත් නෑ . ජනේල අයිනේ හිටපු නිසා දැනටත් මූණෙ තෙල් දුවිලි වලින් තට්ටුවක් හැදිලා තියෙන්නේ. නැගෙනහිර ආකාසේ හිමින් එලිය වෙනවා කුකුල්ලු තොරතෝංචියක් නැතුව අඩලනවා. කොචිචියේ සෙනගත් පිරිලා. හිටගෙන යන ජනතාව වැඩිවෙලා. උදේ තිබ්බ හිමිදිරි සිතල අතුරුදහන් වෙලා රස්නයත් දාඩියත් ඇග වෙලාගෙන.සමහරු වැඩට යන උදවිය. සමහරු කුරුණෑගල ඉස්පිරිතාලෙට යන ලෙඩ්ඩු .

ඔය සෙනග අස්සෙන් තෙරපි තෙරපි ඉඩ අරගෙන තමන්ගේ රාජකාරිය කරන තුන් ගොල්ලක් ඉන්නවා. කට්ටියක් කාකි ඇදුමක් ඇදගෙන ටිකට් චෙක් කරන ගාඩ් උන්නැහේලා. අපෙන් ටිකට් ඉල්ලගෙන හිල් විදලා ආපහු දෙනවා. පස්සේ කලෙක කොළඹ කෝච්චිවල මේ අයට කිව්වේ බාප්පල කියල. මොකද මන්ද .අනිත් කට්ටිය තමා වෙළෙන්දෝ නොයෙක් කෑම, වඩේ, පාන් බනිස්, පොල් මද ,කඩල එත්තෙක්කම තේ සමහරවිට සිසිල් බීම අනිත්විට තැඹිලි කුරුම්බා. සමහරවිට තඹුත්තේගම අනුර කුමාර සහෝදරයත් ඔය අස්සේ ඉන්න ඇති. මිනිස්සු, මේ ළමයා කියල අඩගහල කෑම ගන්නත් ඇති. අපි දන්නවය එතුමා ජනාධිපතිවෙයි කියල. කොචිචියේ දුරගමන් යන අය ඕව කනවා බොනවා. හැමදාම ගල්ගමුවෙන් කුරුණෑගල යන අය නුරුස්නාවෙන් හා අකමැත්තෙන් බලන් ඉන්නව. මමත් තාත්තත් කන්නේ බොන්නේ නැති ගනයට.අපි කොටුවෙන් බැහැල තමා මොනවහරි කන්නේ. සමහරවිට මම විතරයි තාත්ත කන්නේ නැ . ඒදවස්වල අහන්න බැරි උනා තාත්තේ සල්ලි තියනවද කියල.
තවත් කට්ටියක් කෝච්චියේ හිටිය. උන්නැහෙ ලා සමහරු ඇවිදිනවා සමහරු බඩ ගානව. තේකක් පාන් කැල්ලක් කිය කියා බඩගාපු මනුස්සයෙක් හිටිය. අනේ මහතුනේ ඩිංගක් වෙන්න සමා කියල කවි කියපු අයත් හිටිය.

මට වයස අවුරුදු 16 විතර පස්සේ තනියම කෝච්චියේ කොළඹ යන අවසරය හම්බුනා. මතක තියාගන්න මේ අපේ අතේ දුරකථන නොතිබුන කාලයක. බෝම්බයෙන් ප්‍රවෙසම්වෙන්න කියල ස්ටිකර් අලවලා අයිතිකරුවන් නැති ගමන්මලු ගැන දැනුම්දෙන්න කියලත් තිබ්බ කාලයක .ගෙවල්වලටත් ස්ථාවර දුරකථන තිබුනේ නැ. අයිතිකරුවන් නැති ගමන් මල්ලක් දුටුවොත් ගාඩ් මහත්තයට තමා කියන්නවෙන්නේ. ඔන්න ඔහොම අයිතිකරුවන් නැති ගමන් මලු තමා දෙහිවලදී පුපුරලා ගියේ. ඊටත් කාලෙකට ඉස්සර තමා යාල් දෙවි දුම්රිය පුපුරලා කෑලි ගියේ. එතැනින්ම උතුරු දුම්රිය නැවතුන. වව්නියාවෙන් එහාට කෝච්චි තිබුනේ නෑ . 2009 යුද්ධෙ එවරවෙලා උතුරු වසන්තය යටතේ තමා ආයෙත් යාපනේ කෝච්චි වැඩ කරේ. මුළු දුම්රිය මගම විනාසවෙලා තිබුනේ.කොටුවේ දුම්රිය පොලෙත් බෝම්බයක් පුපුරලා පාසල් ළමයිත් මැරුණා . 88 විතර මමයි තාත්තයි කොලඹ යන්න පාන්දරම ස්ටේෂන් එකට යනකොට අනුරාධපුරේ ගොවිජනසේවා පාරේ ටයර් සෑයක් අමු මිනී පුච්චනවා. අපි කතා නොකර අඩිය ඉක්මන් කරලා ගියා.ඔය හැම අතුරු ආන්තරාවකින්ම බේරිලා අපි ආරක්ෂිතයි කියලා දෙමව්පියෝ දන්නේ කොළඹ ආවට පස්සේ යවන ලියුම් කෑල්ලෙන් .ඔය හැම දේකටම බයවෙලා අපිත් ගෙදර හිටියනම් සමහර විට අනේ මන්ද. comfort zone එක බිදලා එළියට වරෙල්ලා කියලා දැන් අවවාදත් දෙනවා.

කෝච්චියේ මතකය එක්කම එන අනිත් දේ තමයි රූප ශබ්ධ ගන්ධ . රූපනම් කොටුවේ ස්ටේෂම වේදිකාවල් අටක් විතර තිබ්බ. පඩි නැගල බහින්න ඕනේ. කොච්චි ගත්තොත් බොහොම කිලිටු. දුවිලි තට්ටු . වාඩි වෙන ආසන කිසිම විදිහකට දුර ගමනකට සුව පහසු නැ .ඉදලා හිටලා වොරන්ට් එකෙන් 2 වෙනි පන්තියට යන්න පුලුවන්නම් ටිකක් ආඩම්බරෙන් තුන්වෙනි පන්තිය දිහා බලන්න පුළුවන් සුවපහසුව.
ශබ්ධ නම් එමටයි. කොටුව ස්ටේෂම ඉස්සරහ තොරතෝංචියක් නැති ලොතරැයි කුඩු ලොතරැයි විකුනනවා ස්පිකර් දාගෙන . යන එන වාහන බස් හෝන් කරන්නේ එකිනෙක පරයල යන්න. දැඩි අව්වේ කරවේවි ඉදල ස්ටේෂම ඇතුලට ආවහම කොච්චි ගැන සිංහලෙන් දෙමලෙන් කනක් ඇහෙන්නේ නැතිවෙන්න නිවේදන. ඒ අතෙරේ සමහරවිට කියනව කරුණාවෙන් සවන්දෙන්න අහවල් දුම්රිය අද දින ධාවනය නොවේ කියලා. ස්ටේෂමට ඇවිත් ටිකට් අරන් වේදිකාවට ආපු මිනිස්සු විකල්ප හිතන්න ගන්නවා.ඔන්න ඔහොම තමා අපේ තාර්කික ශක්තිය තීරණ ගැනීමේ ශක්තිය වැඩිවුණේ. මේක නැත්නම් ඒක එහෙම නැත්නම් අරක. ඕව දැන් workshop දාල soft skills විදිහට උගන්නනවා
ස්ටේෂම ඇතුලේ කොච්චි එන්ජින් සද්ද එක්කකම මුසුවෙලා ඇහිච්ච අනිත් සද්දය තමා කපුටු ශබ්දය. තැනින් තැන ආසන උඩත් එක්ක තියන කපුටු ජරාව කිව්වේ කපුටෝ තමා මේකේ අයිතිකාරයෝ කියල. කෝච්චියට නැග්ගම එන්නේ නලාවේ හඬයි රේල් පීලි මත දුවන යකඩ රෝද ඩකස් ඩුකුස් හඬයි .

ගඳ සුවඳ ගැන කිවොවොත් මුලින්ම එන්නේ එන්ජින් තෙල් තාර පිච්චුන ගඳ ඕවා නහයට පුරුදුවෙනකොට ටිකකින් වැසිකිලි ගඳ මුත්‍රා ගදත් එනවා. ඉස්සර මට තිබුන ප්‍රශ්නය තමා කෝච්චියේ වැසිකිලියේ අපද්‍රව්‍ය යන්නේ කොහෙටද කියල . ඒවා ඉතින් රේල් පාරටම තමයි. ටිකක් කාලෙකට පස්සේ මමත් මගේ නෝනත් සෞඛ්‍ය අමාත්‍යංශයට ගිහින් ආවා රැජිනේ . එතකොට උන්දැ දරු ගැබකුත් දරාගෙන උන්නේ. අපිට හම්බවුනේ වැසිකිලිය ලගම ආසනයක්. ගඳ මදිවට වතුරත් ලීක්. හාපෝයි උන්දැ මග දිගටම වමනේ කරමින් තමා ආවේ.

ඔන්න ඔයවිදිහ තමා මගේ රජරට රැජින මතකය. ආ තව එකක් ඉස්සර අපේ ගෙදරට කෝච්චිය හූ කියනවා ඇහෙනවා එතකොට අපි දල වශයෙන් වෙලාව දන්නවා. කවුරු හරි එනවනම් මග බලාහෙන ඉන්නවා. ඊට පස්සේ ඉතින් අද ටිකක් වෙලා ගියා නේද කියල කියනවා. සුනිල් එදිරිසිංහ මහත්තයත් කියන්නේ කොළඹ කෝච්චිය රජ ගමනට යනවා කියල පුතාට නැගිටින්ඩ කියල. අපේ පුතාලා ඒ කියන්නේ gen Z තාම නිදි. උන්ට කෝච්චිය තියා ගෙදර පහල තියන බස් ස්ටොප් එකේ විනාඩි 5 ඉන්න බෑ . app එකෙන් බස් එන වෙලාව චෙක් කරලා තමයි යන්නේ. Generation gap කියල හිතහදාගෙන දුකෙන් වුනත් නිහඬවම මමත් ඉන්නවා.

(Author

Posted onMay 2, 2025. මෙම ලිපිය මුලින්ම නිහඬපාල WordPress අඩවියේ පලවිය )

20 comments:

  1. +++++++++++++++++👌💐
    ආයෙ එන්නම්.

    ReplyDelete
  2. බස්සා මහත්මයා කියපු නිසා ඔන්න Blogger වලට මාරු උනා .😎

    ReplyDelete
    Replies
    1. නියමයි මමත් බ්ලොග් රෝලට දාගන්නම්. දැන් අර පරණ පෝස්ට් ගහ, බ්ලොග් රෝල වගේ විජට් එහෙමත් දාගන්න බලන්න.

      Delete
    2. හෙමිහිට වැඩ ටික අල්ලගන්න ඕනේ

      Delete
  3. හරිම ලස්සනට කෝච්චි මතකය ලියල තියනවා. මාවත් අතීතයට අරන් ගියා. මේක ආයෙ කීප වතාවක් බලන්න ඕනෙ.

    ඔය කන්තෝරු කෝච්චි එහෙම වෙනම ලෝකයක්, මඟුල් සක්වලක්. සෙල්ලං, කොටු පැනිලි, පාටි , කෑම බෙදාගෙන කෑම, බදාගෙන කෑම ඔක්කොම තිබ්බා. කෝච්චියේ හොරෙන් යන අයගේ සංගම් එහෙමත් තිබ්බා.

    ReplyDelete
    Replies
    1. කන්තෝරු කෝච්චිය වෙනම සංස්කෘතියක්. කීප වතාවක් ඕවයෙත් ගිහින් තියනවා

      Delete
  4. මගේ මතකය බදුලු කෝච්චිය . ඔය වැසිකිලි ගඳ ආවේ 2006 ළමයි එක්ක නුවර ගිය වෙලේ . අපි ගත්තේ අර නැරඹුම් මැදිරිය . එකෙ වැසිකිලියටත් යන්න බැහැ . දැන්නම් ඇත්තම හොඳයි . අමාරු මතකයන් සමහර තැන්වල නේද ? ටයර් සෑය වල් , බෝම්බ පිපිරීම් , පුදුම කාලයක්

    ReplyDelete
    Replies
    1. මතකයන් විතරක්ම නෙමෙයි අමාරු කාලයන් වලින් ලැබුණ අත්දැකීමත් අපේ පරම්පරාවට උදව් වුණා කියලයි හිතෙන්නේ. කොච්චි නම් දැන් සැහෙන දියුණුයි. හැබැයි පලවෙනි පංතියේ ගමන් ගැනීම විතරක්ද දන්නේ නැහැ. ජුනි මාසයේ අපේ නෝනා ලංකාවට ගිහින් අනුරාධපුර කොළඹ සිග්‍රඝාමි දුම්රියේ ගමන් කරලා තිබුනා ඉතාම පිරිසිදු පහසු දුම්රියක් බව තමා ඇයගේ අත්දැකීම.

      Delete
    2. දැන් අවුරුදු දෙකකට කලින් ට්යාපනේ ගිය අපලමු පන්තියේ , නුවර ගියා පළමු පන්තියේ . මර හොඳයි . එක පාරක් එනකොට ටිකට් ඉවර වෙලා දෙවෙනි පන්තියේ ආව . අර තරම්ම් හොඳයි . කොළඹ පවසෙට් නම් ඉස්සර වගේමයි . දුවිලි , කුණු පිරිලා

      Delete
  5. මගේ නං තියෙන්නෙ කෝච්චි ගැන සොඳුරු මතක විතරයි. එකක් ඇරෙන්න. ඒක ඇක්සිඩන්ට් එකක්. එදා නං කෝච්චි එපා වුනා.

    මම පාලු ස්ටේෂන් වලට. සිප්පර කොටන් වලට වැටුන දැවිතෙල් සුවඳට ආසයි. ඒ පරිසරයෙදි මට දවල් හීන බලන්න හැකියාවක් දුන්නා. විල්කි කොලින්ස්ගෙ "ද මූන්ස්ටෝන්" කතාවෙ එන වික්ටෝරියානු වාෂ්ප කොච්චි වලටයි මම ගියේ.

    හවස වලාකුලු බර වෙච්චි අහස යට, පානදුරේ ඉටේසමෙන් බැහැලා ගල්කන්ද බේකරියේ, ප්‍රනීත මාළු පාන් එකයි වැඩි සීනි ප්ලේන්ටියයි ගහලා හන්දියෙන් උණු කඩල ගොට්ටකුත් කාපු බස්සෙක් ඒ කාලෙ හිටියා.

    ReplyDelete
    Replies
    1. පෙරුම් පුරාගෙන ආ සංසාරේ
      පැතුමද සුනු විසුනුව වැටුනේ..
      කාටද රිදුනේ.. කවුරුද හැඬුවේ..
      දුම්රිය මොහොතක්‌ නතර උනේ...

      දිවිය මොනතරම් සුන්දරදෝ
      දුකම කොයි තරම් සතුටක්‌දෝ...

      වේරලියද්ද මහත්මයත් කියනවනේ. සොදුරු වගේම අදුරු මතකයනුත් අපේ අත්දැකිම් .

      Delete
  6. බස්සා මට කියපි, කෝච්චියකට තල්ලුවක් දාල එන්ඩෙයි කියලා. ඇව්ත් බලනකොට නිහඬපාල. කෝච්චි ගැන මටත් මතක එමට යි. අපේ තාත්තා දවසගානෙ ඔෆිස් ගියෙ කෝච්චියෙ. මාස ගාණකට වතාවක් අපිත් තාත්තගෙ වොරන්ට් එකෙන් ගමේ ගියා. දෙවෙනි පංතියෙ, මට මතක හැටියට. පස්සෙ මං ඔෆිස් ගියා කෝච්චියේ. අපි බැන්දට පස්සෙ වොරන්ට් එකෙන් නාවලපිටියෙ ගියා, නැරඹුම් මැදිරිය බුක් කරලා... දිග පෝස්ට් එකක් මාත් ලියන්ඩ ඕනෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බ්ලොග් ලෝකයේ දැවන්ත චරිත අපිටත් තල්ලුවක් දුන්නට . වොරන්ට් කියන්නේ ඉතින් රජයේ සේවකයෝ වෙච්ච අපේ දෙමව්පියන්ට හමුවුන ලොකු අවස්ථාවක්. පොස්ට් එක බලන්න එන්නං

      Delete
    2. දැවැන්ත කොහෙද බොලං? 😅 අපිත් මේක දාල යන්ඩ බැරුව හාව හඳ දකින්නැහැ ලියනව.

      Delete
  7. ඔන්න මමත් බස්සෙක්ගෙ ඔත්තුවක් දැකලා මෙහෙ,ආවේ.මේ ටිකේම රසවත් කෝචිචි කතා නෙව හැම පැත්තෙම.

    ReplyDelete
    Replies
    1. අපිටත් දවසක හඳ පායනවා කිව්වලු. බස්සා මහත්මයා දෙනවා හොඳ තල්ලුවක්.ස්තුතියි ආවාට මේ පැත්තේ.

      Delete
  8. ලස්සන මතකයක් ලස්සනට ලියලා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇවිත් අදහස් දැක්වූවාට.

      Delete
  9. අහම්බෙන් මේ බ්ලොග් එක දැක්කේ. ලිපි ඔක්කොම කියෙව්වා... බ්ලොග් වලට ඉඩෝරේ ලබලා තියෙන මේ කාලේ අලුත් බ්ලොග් එකක් කියන්නේ මල් වැස්සක් වගේ. මේක සින්ඩිකේටර් දෙක තුනක එල්ලමු. එතකොට තව ගොඩක් අය කියවාවි. පහල දෙක තුනක් දැම්මා. දිගටම ලියමු. ජය වේවා!

    https://sandhakadapahana.blogspot.com/
    http://ambagaha.blogspot.com/
    http://maathalangesindiya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඉඩක් ලැබුන හැම වෙලාවකම ලියන්න ඕනේ. ඇවිත් බැලුවට ස්තුත්යි. මේවත් එල්ලගන්නම්.

      Delete